Home » පෞද්ගලික මුදලින් ඖෂධ රැගෙන දරුවන් සුවපත් කරන මාතර මහ රෝහලේ ජීවකයා

පෞද්ගලික මුදලින් ඖෂධ රැගෙන දරුවන් සුවපත් කරන මාතර මහ රෝහලේ ජීවකයා

by sachintha
March 25, 2025 10:39 am 0 comment

විශේ­ෂඥ වෛද්‍ය සමිත සෝම­රත්න විසින් මාතර රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රයා වෙත ඖෂධ තොගය ලබා දුන් අයුරු

ඇදුම රෝගය වැලඳුණු දරුවකු මාතර මහ රෝහල වෙත පසුගිය 21 වැනි දින හදිසියේ ඇතුළත් කිරීමෙන් පසු දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඒ වෙනුවෙන් ලබාදිය යුතු ‘ඇස්තලින් සොලූෂන්’ නම් ඖෂධය රෝහල තුළ නොමැති වීමෙන් මහත් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත.

ඒ මොහොතේ වහා ක්‍රියාත්මකව ඇති ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා පෞද්ගලික අංශය වෙත ගොස් තම පෞද්ගලික වියදමින් එම ඖෂධය ගෙනැවිත් දරුවාගේ රෝගී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.

එතැනින් නොනැවතුණු විශේෂඥ වෛද්‍ය සමිත සෝමරත්න මහතා එවැනි හදිසි තත්ත්වයක් තවදුරටත් ඇති වුවහොත් ඒ සඳහා භාවිත කිරීමේ අරමුණින් රුපියල් එක් ලක්ෂ පනස් දහසකට අධික මුදලක් වැය කොට මසකට සරිලන සේ ‘ඇස්තලින් සොලූෂන්’ ඖෂධය ලබාදීමට පියවර ගෙන ඇත.

එලෙස මිලදී ගෙන රෝහල වෙත පරිත්‍යාග කරන ලද ඖෂධය පිළිබඳ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළ වීමත් සමඟ දේශීය හා විදේශීය පරිත්‍යාගශීලී පිරිස් තවදුරටත් ඒ සඳහා උදව් කිරීමට ඉදිරිපත්ව තිබේ.

මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය සමිත සෝමරත්න මහතාගේ කළ විමසුමේදී ඔහු ප්‍රකාශ කළේ, තමා මෙම ඖෂධ ප්‍රමාණය රෝහල වෙත ලබාදෙනු ලැබුවේ රෝහලේ අඩුපාඩුවක් සම්පූර්ණ කර අසරණ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් බවත් තමාට ඉන් පෞද්ගලික ජනප්‍රියත්වයක් ලැබීමේ කිසිදු අරමුණක් නොතිබූ අතර, සමාජ මාධ්‍යයේ පළ වූ ඡායාරූපය හේතුවෙන් දිගින් දිගටම තමාට ලැබුණු දුරකතන පණිවුඩ නිසා එය මහත් කරදරයක් වූ බවත් එය දැක ඇති දේශීය හා විදේශීය හිතවතුන් රෝහල වෙත ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා ඉදිරිපත් වීම සතුටට කරුණක් බවත්ය.

ගන්දර සමූහ

ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT