Home » මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය චීන තානාපතිගේ නිරීක්ෂණයට

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය චීන තානාපතිගේ නිරීක්ෂණයට

by sachintha
March 25, 2025 10:33 am 0 comment

කඳු දෙකක් අතර කිලෝමීටරයකට වැඩි දුරක් කිසිදු ආධාරකයක් නොමැතිව ඉදිවන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කිරීම සඳහා චීන රජයේ ශ්‍රී ලංකා තානාපති කිව් ෂෙන්හෝන් (Qi Zhenhon) ගම්පොළ අම්බුළුවාව කඳු මුදුනට පැමිණියේය.

ලෝකයේ කඳු දෙකක් අතර කිලෝමීටරයකට වැඩි දුරක් කිසිදු ආධාරකයක් නොමැතිව ක්‍රියාත්මක කෙරෙන කේබල් කාර් ව්‍යාපෘති දුර්ලභය. ඒ දුර්ලභ අවස්ථාව දැක අත්විඳීමට ශ්‍රී ලාංකික ජනතාවට මේ වසර අගදී අවස්ථාව උදාවනු ඇත. ඒ ගම්පොළ අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙනි.

චීනයේ හා අ‍ෙමරිකාවේ ඒකාබද්ධ ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවෙන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ ප්‍රථම අදියර කිලෝ මීටර් 1.8 ප්‍රමාණය මේ වසර අවසන් වීමට නියමිතය. ඒ අනුව අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ ප්‍රවේශ දොරටුවේ සිට මීටර් 600ක් අම්බුළුවාව කඳු මුදුනට කේබල් කාර් මඟින් ගමන් කර එතැන් සිට කිලෝ මීටර් 1.2ක ප්‍රමාණයක් කිසිදු ආධාරකයකින් තොරව කේබල් කාර් මඟින් අම්බුළුවාව ගොවිජන කුලුනට ප්‍රවේශ විය හැකිය. මේ වසරේ ඔක්තෝබර් මාසයට පෙර මෙරට ජනතාවට මෙම අපූර්ව අත්දැකීම විඳගන්නට අවස්ථාව ලැබෙනු ඇති බව පෙරේදා (23) අම්බුළුවාවට පැමිණි චීන රජයේ ශ්‍රී ලංකා තානාපති කිව් ෂෙන්හොන් (Ambassador Qi Zhenhong) මහතා සමඟ අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ අනුරාධ ජයරත්න මහතා සඳහන් කෙළේය.

“අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය සිදුව තිබෙන්නේ මීට වසර දහඅටකට පෙරය. එය සිහිනයක් නොවී යථාර්ථයක් බවට පත් කර ගන්න හැකියාව ලැබී ඇත්තේ චීනයේ හා අමෙරිකාවේ ආයෝජකයින් නිසා බව කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි” යැයි ද නීතිඥ අනුරාධ ජයරත්න මහතා තානාපතිවරයා සමඟ පැවසුවේය. අම්බුළුවාවට පැමිණි ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා දැනට ඉදිවෙමින් පවතින මෙම ව්‍යාපෘතියේ කටයුතු සම්බන්ධයෙන් සතුට පළ කෙළේය. “ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති බැඳීම තවත් ශක්තිමත් කෙරෙන මෙවැනි ව්‍යාපෘතියකට චීන ආයෝජකයකු සම්බන්ධ වීම සතුටක්” බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ දෙවන අදියර ගම්පොළ දුම්රිය නැවතුම ආසන්නය දක්වා ක්‍රියාත්මක වන බවද එමඟින් බදුලු දුම්රියෙන් ගමන් ගන්නා විදේශ සංචාරකයින්ට හා ගම්පොළ හරහා නුවරඑළියට යන විදෙස් සංචාරකයින්ටද ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට හැකිවනු ඇති බවද අනුරාධ ජයරත්න මහතා චීන තානාපතිවරයා සමඟ පවසා සිටියේය.

එමඟින් ගම්පොළ නගරය ලෝකයේ සංචාරක වාණිජ්‍ය නගරයක් වනු ඇති බවද තම පියා වූ දි.මු. ජයරත්නයන්ගේ සිහිනය එය වූ බවද ඔහු සිහිපත් කළේය.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT