Wednesday, March 26, 2025
Home » මාතර ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්

මාතර ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්

by sachintha
March 25, 2025 4:30 pm 0 comment

 

මාතර නූපේ හන්දියට නුදුරින් ඇති උත්සව අවස්ථාවන් සඳහා මල් ඇතුළු උපාංග අලෙවි කරන වෙළෙඳසලක සහ මාතර කුමාරතුංග මාවතේ රුහුණු සේවය ඉදිරිපිට ලොන්ඩරියක ඊයේ අලුයම් කාලයේදී ඇතිවූ ගිනි ගැනීම් තත්ත්වයන් හේතුවෙන් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම ගිනි ගැනීම් දෙකම විදුලි කාන්දුවක් හේතුවෙන් ඇති වූවක් බවට පොලීසිය සැක කරන අතර නූපේ හන්දියට නුදුරින් පිහිටි උත්සව අවස්ථාවන් සඳහා මල් ඇතුළු උපාංග සපයන වෙළෙඳසලට අලුතින්ම ගෙන එන ලද රුපියල් ලක්ෂ අසූවක් වටිනා කන්ටේනරයක බඩු මුළුමනින්ම විනාශ වී ඇති අතර වෙ‍ෙළඳ සලෙහි තිබූ අනෙකුත් බඩු බාහිරාදියට මෙන්ම එහි තිබූ ලොරි රථ තුනකට හා යතුරුපැදියකට ද ගින්නෙන් හානි සිදුව තිබූ බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

ඊට අමතරව ආසන්නයේ පිහිටි පෞද්ගලික බැංකුවකට හා වෙළෙඳ සලකටද ගින්නෙන් හානි සිදුව ඇතැයි පොලිසිය පැවසුවේය.

මෙයට අමතරව මාතර කුමාරතුංග මාවතේ රුහුණු සේවය ඉදිරිපිට තිබූ ලොන්ඩරියක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබේ. එහි තිබූ රෙදිපිළි, ගෘහ උපකරණ මෙන්ම ගොඩනැඟිල්ලේ වහලයද ගින්නෙන් විනාශ වී තිබේ.

ගින්න පැතිරීමත් සමඟ මාතර මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් හා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදාගෙන මාතර මූලස්ථාන පොලීසිය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය, විදුලිබල මණ්ඩල නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීම සඳහා ක්‍රියාකර තිබේ.

සිදුවීමෙන් පසු මාතර මූලස්ථාන පොලීසිය, මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පර්යේෂණාගාරය එක්ව විමර්ශන සිදු කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

සිදුවීම් සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT