අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී අලෙවි මණ්ඩලය මඟින් මෙතෙක් මිලදී ගෙන ඇත්තේ වී කිලෝ 2017ක් පමණක් බව අලෙවි මණ්ඩලයේ දිස්ත්‍රික් කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි. තලාව ගබඩාව වෙත ගොවීන් තිදෙනෙකු විසින් මෙම වී ප්‍රමාණය අලෙවි කොට ඇති බව ඒ මහතා සඳහන් කළේය. අනුරාධපුරයේ තලාව, තඹුත්තේගම, කටියාව, පේමඩුව, ගලෙන්බිඳුනුවැව, කැකිරාව, පදවිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන හා කහටගස්දිගිලිය ආදී ප්‍රදේශ ආශ්‍රිතව ගබඩා 28ක් විවෘත කර ඇතත් එම කිසිඳු ගබඩාවකට මෙතෙක් ගොවීන් වී අලෙවි කර නොමැති බව ඔහු කීවේය.
ගොවීන් පිරිසක් වී අලෙවි මණ්ඩලය වෙත යම් ප්‍රමාණයකට වී අලෙවි කිරීමට සූදානමින් සිටියද ඉකුත් දිනවලදී අනුරාධපුරයට ඇද වැටුණු වැසි හේතුවෙන් එම තත්ත්වය මඟහැරී ගිය බව නිමල් තෙන්නකෝන් මහතා පැවසුවේය. පුද්ගලික වෙළෙඳුන් අස්වනු නෙළූ මොහොතේම අමු වී මිලදී ගැනීම හේතුවෙන් ගොවීන් ඔවුනට වී අලෙවි කිරීමට යොමුව සිටින බව දිස්ත්‍රික් කළමනාකාරවරයා පවසා සිටියේය. අලෙවි මණ්ඩලයේ සහතික මිල ඉක්මවා පෞද්ගලික වෙළෙඳුන් වී මිලදී ගැනීම හේතුවෙන් මෙසේ අලෙවි මණ්ඩලයේ මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථක නොවූ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවකට රුපියල් 120ක මිලක් ද, පිළිවෙළින් සම්බා සහ කීරි සම්බා සඳහා රුපියල් 125ක හා 132ක මිලක් රජය මඟින් නියම කෙරුණ ද එම මිල ගණන් ඉක්මවා වෙළෙඳුන් වී මිලට ගනිමින් සිටින බව තෙන්නකෝන් මහතා පැවසුවේය. අමු වී කිලෝවක් පෞද්ගලික වෙළෙඳුන් රුපියල් 110ත් 115ත් අතර මිලකට මිලදී ගන්නා අතර, නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 125ත් 130ත් අතර මිලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130ත් 135ත් අතර මිලකටත් මිලදී ගන්නා බව වී අලෙවි මණ්ඩලයේ දිස්ත්‍රික් කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර අනුරාධපුරයේ ගොවි සංවිධාන නියෝජිතයින් පැවසුවේ මෙවර මාස් කන්නයේ ඉකුත් කන්නයට සාපේක්ෂව වී අස්වැන්න පහත වැටී ඇති බවය. මේ හේතුවෙන් ඉදිරියේ දී යම් සහල් හිඟයක් ඇතිවී මිල ඉහළ යෑමේ අවදානමක් මතුවිය හැකි බව ද ඔවුහු පවසති.
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්