සිංහල, මුස්ලිම් හා දමිළ ජාතින් අතර සමගිය සහ සුහදතාව මෙන්ම සංහිඳියාව ගොඩනැංවීමේ අරමුණ ඇතිව පස්වැනි වරටත් සංවිධානය කරන ලද ඉෆ්තාර් උලෙළක් පෙරේදා (23) පස්වරුවේ මල්වාන අල් මුබාරක් මුස්ලිම් ජාතික පාසල් ක්‍රීඩාපිටියේදී පැවැත්විණ.
සහරා පදනමේ නිර්මාතෘ අල්හාජ් මොහොමඩ් ෆවුසුල් ජීෆ්රි මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් හා මාධ්‍යවේදී ඒ.එච්.එම්. ෆවුෂාන් මහතාගේ සම්බන්ධීකරණයෙන් එම පදනම හා මල්වාන මහජන ආරක්ෂක කමිටුව එක්ව මෙය සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා මැලේසියා හා මාලදිවයින් මහ කොමසාරිස් බඩ්ලි හිෂාන් අදම් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අවසන් කිරීමට සමගාමීව පවත්වනු ලැබූ මෙම ඉෆ්තාර් උලෙළට මල්වාන හා අවට ප්‍රදේශයේ වෙසෙන සිංහල, මුස්ලිම් හා දමිළ ජනතාව 500 දෙනකුට පමණ ආරාධනා කර තිබීම මෙහි තිබූ තවත් විශේෂත්වයකි. මෙම අවස්ථාවට සර්වආගමික නායකයන් ලෙස මල්වානේ වල්ගම – නැඟෙනහිර ශ්‍රී සුදර්ශනාරාමාධිපති අධිකරණ සංඝනායක මකුලුදූවේ නන්දරතන නාහිමි, ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ විශ්‍රාමික රදගුරු ආසිරි පෙරේරා පූජකතුමා, කොළඹ ආනන්ද ශිව පදනමේ ලේකම් ශිව ශ්‍රී දර්ශන ශාමා කුරුක්කල්තුමා, ශාම් ශාම් පදනමේ මවුලවි සාජිත් ඛාන් පූජකතුමා හා මල්වානේ රස්සපාන ජුම්මා මස්ජිත් මුස්ලිම් දේවස්ථානයේ මවුලවි ඒ.එච්. එම්. අනීස් නූරී පුජකතුමා ද සහභාගී වූහ.
මෙදින පස්වරුවේ මුස්ලිම් බැතිමතුන් රාමසාන් උපවාසය නිම කිරීමත් සමඟම ඉෆ්තාර් උලෙළට පැමිණි සියලු දෙනාටම තේ පැන් සංග්‍රහයක් හා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව පැමිණි පිරිස සහෝදරත්වයෙන් විසිරී ගියහ.
මල්වාන සමූහ – මහානාම විතානගේ හා
දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති