කළුගං කලපුවේ පාවෙමින් තිබූ තරුණයන් දෙදෙනකුගේ මළ සිරුරු ඊයේ (24) පෙරවරුවේ හමුවූ බව දකුණු කළුතර පොලීසිය පැවසීය.
මොවුන් දෙදෙනා මිතුරන් බවත්, දෙදෙනා විනෝදයට ඔරු පැදීම සඳහා ගොස් තිබූ බවත් අනාවරණය වී තිබේ. මොවුන් දෙදෙනාගෙන් දකුණු කළුතර ෂෙයික් නූර්දීන් පාරේ පදිංචිව සිටි මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්ෆාස් (33) අයගේ සිරුර ඊයේ (24) උදේ 10.00ට පමණ ද, දකුණු කළුතර යොන් වීදියේ පදිංචිව සිටි මොහොමඩ් හුසයින් අහමද් (24) යන අයගේ සිරුර දහවල් 12.00ට පමණ ද ප්‍රදේශවාසීන්ගේ දනුම්දීම මත සොයාගෙන ඇත.
කළුගං කලපුවේ තිබී පෙරැළුණු ඔරුවක් ද සොයාගෙන ඇති අතර, මොවුන් දෙදෙනා පෙරේදා (23) රාත්‍රියේ ඔරුවේ නැඟී කලපුවේ ගමන් කරන අවස්ථාවේ පෙරළෙන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. කෙසේ වෙතත් මෙම මරණය කෙසේ සිදුව ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කළුතර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි,
පාණදුර සංචාරක – සුමිත් ප්‍රේමතිලක