යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන බවත් ඔහු එම පෙරමුණේ ජාතික සංවිධායකවරයාගේ සහෝදරයා සහ පක්ෂ නායකවරයාගේ පුතා බවත් පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය. සමාජ ශාලාවක පසුගියදා සිදුව ඇති ගැටුමක් සම්බන්ධයෙන් ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතරු දෙමින් ඒ මහතා මේ බව කීවේය. සමාජ ශාලාවලට ඕනෑ තරම් අය යන එන බව කී ඒ මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් සිදු කර ඇති බවත් ඒ කිසිඳු පරීක්ෂණයකින් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් කීවේය.
යෝෂිත රාජපක්ෂගේ සිද්ධියට ඇති එකම සම්බන්ධය වන්නේ ගැටුම සිදුවීමට ටික වේලාවකට පෙර ඔහු එම ස්ථානයේ සිටි බව සඳහන් කළ පුද්ගලයකුගේ ප්‍රකාශයක් පමණක් බවත් ඉන් එපිට කිසිම සම්බන්ධයක් ඔහු මේ සිද්ධියට නැති බවත් හෙතෙම කීවේය.
යමකු ස්ථානයකින් පිටව ගිය පසු ඇතිවන ගැටුමක් සම්බන්ධව එම පුද්ගලයාගේ නම සම්බන්ධ කිරීම ඔහුට මෙන්ම ඔහු වටා සිටින පිරිසටත්, එම පිරිස සම්බන්ධ දේශපාලන පක්ෂයටත් ගැටලු ඇති කරන ආකාරයක් බව ද ඒ මහතා පැවැසීය.