Home » මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

ප්‍රසන්න රණවීරට-‘සිංගප්පූරු සරත්’ට වරෙන්තු ඉල්ලයි

by sachintha
March 25, 2025 4:12 pm 0 comment

කිරිබත්ගොඩ නව නගරයේ ඉදිකිරීම සඳහා පවරාගෙන තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රජයේ ඉඩම කූට ලේඛන සකසා පෞද්ගලික අංශයට විකුණුවැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් වන හිටපු අමාත්‍ය ප්‍ර‍සන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් ‘සිංගප්පූරු සරත්’ යන අයවලුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඉදිරියේ ඊයේ (24) ඉල්ලා සිටියේය.

මෙම විමර්ශනය පොදු දේපළ පනත යටතේ විභාගවන්නක් බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග නිකුත් කළ යුතු නැති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බලය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවත් මෙහි දී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

මෙම සිද්ධියට අදාළ පළමුවැනි සැකකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ දෙවැනි සැකකරු වන කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා ඇතුළු තිදෙනා ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.

ඒ අනුව, මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු වන වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් සහ තරංග නවීන් වීරකෝන් යන තිදෙනාය. මෙම නඩුව ඉකුත් 17 වන දින කැඳවූ අවස්ථාවේ රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඇප ඉල්ලීමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.

‘‘මෙම සිද්ධියට සම්බන්ධ මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් අධිකරණය මඟ හරිමින් සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ දොන් සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් යන තිදෙනා තම ජංගම දුරකතන විසන්ධි කර ඔවුන් පදිංචි ලිපිනයන් හැර පලාගොස් සැඟව සිටින නිසා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මීට අමතරව මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ අධිකරණය මඟ හරිමින් සිටින එම සැකකරුවන් තිදෙනා තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට කොළඹ අභියාචනාධිකරණයේ රිටි පෙත්සමක් ගොනු කරලා තියෙනවා. පොදු දේපළ පනත යටතේ පවරා ඇති මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින්නේ.”

මෙම නඩුවට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් මහර බන්ධනාගාරයේ සිට ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන ඔවුන් නිරීක්ෂණය කර අදාළ නියෝග ඔවුන්ට දැනුම් දීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී. විජේතුංග මහතා ඇතුථ නිලධාරීන් පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ලදී.

රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන මෛත්‍රී ගුණරත්න, නෙවිල් අබේරත්න ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙනී සිටින ලදී.

මහර සමූහ – ගණිඳු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT