උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක පැවැති ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය මඟින් නීති විරෝධීව සංවිධාන කරන ලද මත්පැන් සාදයකට එක්ව සිටි තරුණ තරුණියන් 57 දෙනකු සමඟ හෝටලයේ හිමිකරු පමුණුගම පොලීසිය මඟින් සිදු කළ වැටලීමකදී පෙරේදා (23) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයේ හිමිකරු වන 40 හැවිරිදි උස්වැටකෙයියාව පුබුදුගම පදිංචිකරුවකු බවත් ඔහු පමුණුගම හා පුබුදුගම ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයක හිමිකරුවකු බවත් පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පිරිස අතර අවුරුදු 18 – 35 තරුණියන් 7ක් තරුණයන් 50 දෙනකු සිට තිබේ.
මෙම සැකකරුට අයත් හෝටලයේ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලය මඟින් තරුණ තරුණියන් රැස්කර මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට පමුණුගම පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ පෙරේදා රාත්‍රී කාලයේදීය.
අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් අතර අයිස් සහ කේරල ගංජා පානය කරමින් සිටි 16 දෙනෙක් සිටි බව ද පමුණුගම පොලීසිය සඳහන් කරයි. එමෙන්ම ඔවුන් අතර තිබූ හෂිස් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් ද සොයා ගෙන ඇති අතර මොවුන් පැමිණ තිබූ මෝටර් රථයක්, වෑන් රථයක් සහ යතුරු පැදි කිහිපයක් සමඟ ඩී.ජේ. සංගීතය සැපයූ යන්ත්‍රද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල, මාතර, හලාවත, මීගමුව සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
පමුණුගම විශේෂ පොලිස් කාර්යාංශ උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පමුණුගම පොලීසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉමල්ක සංජීව මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාරත්න, පරිපාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුෂ රූපසිංහ සහ පොලිස් උප පොලිස් පරීක්ෂක සී. ඇරාගම ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.
සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගයාන් කුමාර වීරසිංහ, ජා-ඇළ – විශේෂ තිස්ස කොටින්කඩුව