මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අප්‍රේල් 18දා සිට 27දා දක්වා පැවැත්වෙන දළදා දැක්ම සඳහා භාවිත කළ යුතු තේමා පාඨය සහ නිල ලාංඡනය ශ්‍රී දළදා මාලිගාව මඟින් නිකුත් කර තිබේ. ඒ අනුව “සිරි දළදා වන්දනාව” තේමා පාඨය ලෙස ඊට යොදා ගන්නා ලෙස දළදා මාලිගාව ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීම සඳහා 16 වසරකට පසු දෙස් විදෙස් ජනතාවට අවස්ථාව ලැබෙන අසිරිමත් අවස්ථාව ගෞරවණීය ආකාරයෙන් එකම තේමාවක් යටතේ සංවිධාන කිරීමේ අරමුණින් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාවේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ පූර්ණ අනුදැනුම මත මෙම විශේෂ තේමා පාඨය සහ නිල ලාංඡනය හඳුන්වා දී තිබේ.
මෙම උතුම් පුණ්‍යකර්මය සිරි දළදා වන්දනාව ලෙසින් හැඳින්වීමට තීරණය කර තිබෙන අතර දෙස් විදෙස් මාධ්‍ය ආයතන ඇතුළු සියලු ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරන ලෙස දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනපති ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
මෙම නිල තේමා පාඨය සහ නිල ලාංඡනය පිළිබඳ දැනුම්වත් කරමින් ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය තුළින් ද සිරි දළදා වන්දනාව උතුම් පුණ්‍යකර්මයට ප්‍රමුඛ ප්‍රචාරයක් දෙන ලෙසත් එහිදී ශ්‍රී දළදා වහන්සේ කෙරෙහි වන ගෞරවය ඉහළ නැන්වෙන පරිදි කටයුතු කරන ලෙසත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙයට අමතරව මේ නිමිත්තෙන් නොයෙකුත් වර්ණ භාවිතයෙන් සිදු කරන ලාංඡන හා දැන්වීම් පුවරු නිර්මාණය වීම වැළැක්වීම සඳහා බෞද්ධ කොඩියේ වර්ණ අනුසාරයෙන් නිල ලාංඡනයක් හඳුන්වාදීමට ද දළදා මාලිගාව පියවර ගෙන තිබේ. විදත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මඟින් ද මෙම උතුම් පුණ්‍යකර්මය හැඳින්වීම සඳහා විවිධ නම් භාවිත නොකර සිරි දළදා වන්දනාව ලෙස භාවිත කරන ලෙස දියවඩන නිලමේවරයා ඉල්ලීමක් කරයි.
සිරි දළදා වන්දනාවට අදාළ සියලු සංවිධාන කටයුතු රජය සහ ශ්‍රී දළදා මාලිගාව මූලිකව කරන බවත් දළදා මාලිගා පරිශ්‍රය තුළ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට දන්සල් හෝ වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් කිරීමේ අවකාශ නොමැති බවත් කී නිලංග දෑල මහතා මාලිගාව මුල්වී සිදු කරන සියලු සංවිධාන කටයුතුවලදී මේ වෙනුවෙන් හඳුන්වාදී තිබෙන නිල ලාංඡනය සහිත ලිපි ලේඛන පමණක් භාවිත කරන බව ද අවධාරණය කළේය.
අසේල කුරුළුවංශ