Home » සරසවිය සිනමා උලෙළ සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගෞරවයක්

සරසවිය සිනමා උලෙළ සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගෞරවයක්

-හොරණ වාසනා බේකර්ස් සමාගමේ අධ්‍යක්ෂ නන්දන පෙරේරා

by sachintha
March 25, 2025 4:02 pm 0 comment

දේශීය ව්‍යාපාර ආයතනයක් ලෙස හෙළයේ මහා කලා මංගල්‍යය වන “සරසවිය සිනමා උලෙළ” සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබිම සුවිශේෂී අවස්ථාවක් මෙන්ම ඉමහත් ගෞරවයක් බව හොරණ වාසනා බේකර්ස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ නන්දන පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හා “සරසවිය” පුවත්පත 36 වැනි වරටත් සංවිධාන කිරීමට කටයුතු යොදා ඇති සරසවිය සිනමා උලෙළේ විශේෂ අනුග්‍රාහකත්වයක් හිමි කර ගනිමින් ඊට අදාළ රුපියල් මිලියන පහක මුදල ලේක්හවුස් ආයතනය වෙත භාරදීමේ අවස්ථාව සඳහා ලේක්හවුස් ආයතනයේදී ඊයේ (24) සංවිධාන කර තිබූ විශේෂ වැඩසටහන හා එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වාසනා බේකර්ස් (පුද් ) සමාගමේ නිර්මාතෘ දයානන්ද බෝඹුවල මහතා මේ දිනවල විදේශ සංචාරයක නිරත වී සිටින බැවින් එම ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ නන්දන පෙරේරා මහතා මෙම අනුග්‍රාහකත්ව මුදල ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී වරුෂමාන මහතා වෙත පිරිනැමීය. එම අවස්ථාවට හොරණ වාසනා බේකර්ස් සන්නාමය පාරිභෝගික ජනතාව අතර ඉහළටම ඔසවා තැබීම සඳහා මහඟු මෙහෙයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චූලානන්ද සමරනායක මහතා ද එක්වී සිටීම විශේෂත්වයක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හොරණ වාසනා බේකර්ස් (පුද් ) සමාගමේ අධ්‍යක්ෂ නන්දන පෙරේරා මහතා –

වාසනා බේකර්ස් නිෂ්පාදන රටපුරා ජනතාව අතර අතිශය ජනප්‍රිය වී තිබෙන්නේ අප සෑම අවස්ථාවකදීම රසයෙන්, ගුණයෙන්, ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන ඉතාම සාධාරණ මිලකට අලෙවි කරන නිසයි. ඒ වගේම අපගේ සාර්ථකත්වය සඳහා අපගේ කාර්ය මණ්ඩලයද මනා සහයක් ලබා දෙනවා. අප ආයතනයේ ගරු නිර්මාතෘ දයානන්ද බෝඹුවල මහතාත්, එම මැතිනිය වන අනූෂා විජයන්ති පෙරේරා මහත්මියත් වාසනා බේකර්ස් (පුද් ) සමාගම දශක තුනක කාලයක් ඇතුළත “වාසනා” නම මුළු රටේම ජනතාව දන්නා ප්‍රබල වෙළෙඳ සන්නාමයක් බවට පත් කළා.

පාරිභෝගික ජනතාව වෙනුවෙන් රසවත් බේකරි නිෂ්පාදන අප ආයතනය මඟින් ලබා දෙනවා වගේම ලේක්හවුස් ආයතනයද ප්‍රබල සමාජ වගකීමක් ඉටු කරන මාධ්‍ය ආයතනයක් වෙනවා. සරසවිය සිනමා උලෙළ සමඟ සම්බන්ධ වීමට ලේක්හවුස් ආයතනය අප වෙත ලබා දුන් මෙම අවස්ථාව අගය කරන අතර එය සාර්ථක කර ගැනීම සඳහා අපගේ දායකත්වය ඉදිරියේදී ද නොමසුරුව ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා –

සෑම විටම පාරිභෝගික ජනතාව වෙනුවෙන් රසවත් නිෂ්පාදන හඳුන්වා දුන් හොරණ වාසනා බේකර්ස් (පුද් ) සමාගම “සරසවිය සිනමා උලෙළ” සමඟ මේ වසරේදී සම්බන්ධවීම පිළිබඳව එම සමාගමටත්, සමාගමේ නිර්මාතෘ දයානන්ද බෝඹුවල මහතාටත් එම මැතිනිය වන අනූෂා විජයන්ති පෙරේරා හා නන්දන පෙරේරා යන මහත්ම මහත්මීන්ටත් එහි පාලනාධිකාරියටත්, කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවය හා ප්‍රසාදය පළ කරනවා. එමෙන්ම සරසවිය සිනමා උලෙළ පැවැත්වීමට අපට අවශ්‍ය ශක්තියත්, ධෛර්යයත් ලබා දීම ගැන ස්තූති කරනවා. එමෙන්ම ඉදිරියේදීත් වාසනා බේකර්ස් ආයතනය හා ලේක්හවුස් ආයතනය අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනැඟෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්, මුදල් අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චින්තක යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. දනසේන, දැන්වීම් කළමනාකරු (ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන) එරන්ද එදිරිමාන්න, ප්‍රචාරණ කළමනාකරු ශාන්ත ජයමහ, සරසවිය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමාලි විජයරත්න, ඩිජිටල් මාධ්‍ය අංශයේ පද්ධති ඉංජිනේරු අයේෂ් රාජපක්ෂ මහත්ම මහත්මීහු මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නෙත්මි පූජනී රත්නායක

ඡායාරූප – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT