Wednesday, March 26, 2025
Home » ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ රංගනය-නිවේදනය එක්දින වැඩමුළුවෙන්

ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ රංගනය-නිවේදනය එක්දින වැඩමුළුවෙන්

by sachintha
March 25, 2025 4:27 pm 0 comment

ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය මඟින් සංවිධාන කරන ලද ප්‍රතිභාන්විත රංගනය හා රූපවාහිනී වැඩසටහන් නිවේදනය පිළිබඳ එක්දින වැඩමුළුව පෙරේදා (23) එම ඇකඩමියේදී පැවැත්විණි.

ප්‍රවීණ රංගන ශිල්පිනී, නිවේදිකා මෙලනි අශෝකා, රූපවාහිනියේ ප්‍රවෘත්ති හා වැඩසටහන් නිවේදක චානක ඉනෝජ්, ප්‍රවීණ නිවේදක, රංගන ශිල්පී වසන්ත ජයසිංහ ආරච්චි, රූපවාහිනී නිවේදක ජේ. යෝගරාජ්, භාග්‍යා ජයසිංහ මහත්ම මහත්මීහු මෙහි සම්පත් දායකයෝ වූහ.

පැමිණ සිටි සිසු සිසුවියන්ට න්‍යායික දැනුමට සමාන්තරව ප්‍රායෝගික ක්‍රියාකාරම්වල නිතර වීමට ද මෙහිදී අවස්ථාව ලැබිණි. දවස පුරා මේ වැඩමුළුව පැවැති අතර, ලේක්හවුස් ඩිජිටල් ස්ටූඩියෝ රූපවාහිනී මැදිරියේදී හඬ හා තිර පරීක්ෂණ සමඟ රූපවාහිනී කැමරා ඉදිරියේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ට අවස්ථාව හිමි වීම විශේෂත්වයකි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිසු සිසුවියන් බොහොමයක් මෙම එක්දින වැඩමුළුව සඳහා සහභාගි වූ අතර, වැඩමුළුව අවසානයේ ඔවුන්ට වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමිණි.

“රඟපෑම හෝ නිවේදන වෘත්තිය හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවේ. ජනතාවට මතක හිටින නිවේදකයකු රංගන ශිල්පියකු වෙන්න” යැයි මෙහිදී අදහස් දක්වමින් ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා පැවසුවේය.

“රඟපෑම, නිවේදනය එන්නේ ජන්මයෙන් නෙවෙයි, හැකියාව ප්‍රගුණ කිරීමෙන්. ඒවා කපා ඔපමට්ටම් කිරීම තමයි අපි මේ එක්දින වැඩමුළුවෙන් සිදු කරන්නේ. මෙම වැඩමුළුව ආයෝජනයක් ලෙස සලකා මහන්සි වී අනාගතය වෙනුවෙන් වැඩ කරන්න” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

‎‎ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර ජනරාජ් හා මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවටියගල මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

 

දෙව්නි මහගමගේ

ඡායාරූප – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT