Home » වසර දෙකකින් සියලු පුද්ගලයන්ට ඩිජිටල් උප්පැන්න සහතික රෙජිස්ටාර් ජනරාල් සමන්ත විජේසිංහ

වසර දෙකකින් සියලු පුද්ගලයන්ට ඩිජිටල් උප්පැන්න සහතික රෙජිස්ටාර් ජනරාල් සමන්ත විජේසිංහ

by sachintha
March 25, 2025 8:43 am 0 comment

රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ මෙරට සියලු පුද්ගලයන්ට ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය ලබා දීම වසර දෙකක් ඇතුළත සම්පූර්ණ කිරීමට සැලසුම් කොට ඇතැයි රෙජිස්ටාර් ජනරාල් සමන්ත විජේසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික උප්පැන්න සහතික ලබා දීමේ වැඩසටහන රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමැති චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ආරම්භ කළ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“ජාතික උප්පැන්න සහතික දීමේ ක්‍රියාවලිය අයි. සී. සී. ටී. ඒ. ආයතනය සහ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය අංශ ඒකාබද්ධව මීට වසර 15කට පෙර ආරම්භ කර තිබෙනවා. මේ අවුරුද්දේ රට පුරා මේ වැඩසටහන ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා.

මෙරට අවශ්‍යතාවක් වෙලා තියෙන මූලික දත්ත පද්ධතිය, උප්පැන්න, විවාහ, මරණ දත්ත පද්ධතිය නීත්‍යානුකූලව ඩිජිටල් ආකාරයෙන් හදාගත්තොත් මේ දත්ත පද්ධතිය තමයි පාස්පෝට් එකක් ගන්න ගියත්, හැඳුනුම්පතක් ගන්න ගියත්, අනෙකුත් ක්‍රියාවලිවලටත් මූලාශ්‍ර වෙන්නේ. රට පුරාම තියෙන ලේඛන මිලියන 45ක් ස්කෑන් කර දත්ත ඇතුළත් කර මේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව තියෙනවා. මේ වැඩසටහන දැන් කඩිනම් කරමින් යනවා.

මතු අනාගතයේ සියලුම ශ්‍රී ලාංකේය දූ පුතුන්ට අනන්‍යතා අංකයක් එම දරුවා උපදින අවස්ථාවේදීම ලබා දෙනවා. දරුවා සම්බන්ධ සියලුම දත්ත ඇතුළත් දත්ත පද්ධතියක් නිර්මාණය කෙරෙනවා. රටක ජාතික ආරක්ෂාවට එය ඉතාමත් වැදගත්. අනතුරුව අපට නිත්‍යානුකූල නොවන ක්‍රියාවලීන් අඩු කරගැනීමටත්, පුරවැසියා මුහුණපාන දුෂ්කරතා අඩු කරගැනීමටත් හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තුව තියෙනවා.

ඩිජිටල් උප්පැන්න සහතිකයේ සුවිශේෂී වැදගත්කමක් වන්නේ සිංහල සහ ඉංග්‍රීසි ද ඇතුළත්ව භාෂා දෙකකින් නිර්මාණය වී තිබීමයි. මව් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තන ඒ උප්පැන්න සහතිකයේම තියෙනවා. පරිවර්තකයන් සොයාගෙන යෑමේ අවශ්‍යතාවක් නෑ.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ 2021න් පසුව ඉපදුණු දරුවන්ට ජාතික උප්පැන්න සහතිකය දීමේ අවස්ථාව අද සිට උදා වෙනවා. දැන් රට පුරාම දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කරමින් යනවා. දරු උපතේදීම සියලු අවශ්‍යතා සම්පූර්ණ වන විදිහේ ජාතික උප්පැන්න සහතිකය නිකුත් වෙනවා. වැඩිම උපත් ප්‍රමාණයක් ලියාපදිංචි කරන රෙජිස්ටර් කාර්යාලයක් ලෙස තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හඳුන්වන්න පුළුවන්.”

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් ලේකම් ආලෝක බණ්ඩාර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් සුදත් සිසිර කුමාර මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

නෙරංජලා වික්‍රමසිංහ

ඡායාරූපය – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT