බංග්ලාදේශ ක්‍රිකට් පිලේ හිටපු නායක තමීම් ඉක්බාල් දරුණු හෘදයාබාධයකින් පසු නැවතත් සිහිය ලබා ඇති බවත් පවුලේ සාමාජිකයන් සමඟ කතා කිරීමට පටන් ගෙන ඇති බවත් AFP පුවත් සේවය වාර්තා කරයි.
“ඔහු දැන් හොඳින් ඉන්නවා. ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ කතා කළා, රෝහලේදී ටික වේලාවක් ඇවිද ගියා,” යනුවෙන් එරට ක්‍රිකට් නිලධාරීන් මේ බව තහවුරු කර ඇත.
තමීම් ඊයේ උදෑසන ඩකා නුවර පැවති ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයක් අතරතුරදී හෘදයාබාධයට ලක්වූ අතර, එන්ජියෝප්ලාස්ටි පරීක්ෂණයකට මුහුණ දී තිබුණි. ඔහුගේ හෘද වස්තුවේ ධමනි අවහිරතාවක් සිදුවී ඇතැයි එහිදී තහවුරු වී තිබේ.
ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මොහොම්මඩන් ක්‍රීඩා සමාජයේ නායකත්වය දරන 36 හැවිරිදි තමීම් ඉක්බාල් හෘදයාබාධයට ලක්වූයේ ශිනේපුකුර් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගය අතරතුරදීය. පළමුව පන්දුවට පහරදෙමින් සිටි ප්‍රතිවාදී පිලේ පළමු ඕවරය අවසානයේ ඔහු පිටියෙන් ඉවත්වූ අතර, පසුව වෛද්‍යවරයකු හමුවීමට සිය මෝටර් රථයෙන්ම ඒ අසල පිහිටි රෝහලකට ගොස් තිබූ බව වාර්තා වේ.
විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබීමෙන් පසුව ඔහු නැවත පිටියට පැමිණ ඇත්තේ ගුවන් ගිලන් රථයක් මඟින් වෙනත් රෝහලක් කරා යෑමේ අදහසින් වුවද හෘදයාබාධය යළි උත්සන්න වීම හේතුවෙන් ඔහු නැවත එම රෝහලටම යොමු කිරීමට ක්‍රීඩා සමාජයේ බලධාරීන් පියවර ගෙන තිබුණි.
තමීම් රෝහලට ගෙනඑන විට ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව තමීම් ප්‍රතිකාර ලැබූ ස්ථානයේ වෛද්‍ය අධ්‍යක්ෂ රසීබ් හසන් සඳුදා වාර්තාකරුවන්ට පැවසීය.
ධමනි අවහිරතාවයක් ඉවත් කිරීම සඳහා ස්ටෙන්ට් බද්ධ කිරීම සඳහා තමීම්ට සැත්කමක් කළ යුතු බව ද ඔහු පවසා ඇත.