දකුණු කොරියාවේ අඛණ්ඩව තුන්වැනි දිනයටත් ලැව්ගිනි පැතිරී ඇතැයි කොරියන් හැරල්ඩ් පුවත් සේවය වාර්තා කළේය. ඊයේ තුන්වැනි දිනයේදී එරට දකුණු කලාපයට ලැව්ගිනි ව්‍යාප්ත වී ඇති අතර, භූමියේ වියළි තත්ත්වයත්, දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් ලැව්ගින්න වේගයෙන් පැතිරෙන බව කොරියන් හැරල්ඩ් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ඊයේ වන විට ගිනිනිවන භටයන් 6,453ක් සහ හෙලිකොප්ටර් යානා 107ක් ලැව් ගින්න පාලනය කිරීමේ මෙහෙයුමට එක්වී සිටි බව ද වාර්තා වේ. ලැව්ගින්න පැතිරී ගිය දෙවැනි දිනයේදි පුද්ගලයන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 6 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. ඒ සමඟම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට දකුණු කොරියානු රජය පියවර ගෙන තිබිණි.
ලැව්ගිනි තත්ත්වය හෙක්ටයාර් 8,732ක භූමි ප්‍රමාණයකට බලපා ඇති අතර, ඊයේ වනවිට තවත් හෙක්ටයාර් 5,000ක් අවදානම් තත්ත්වයක පැවති බව කොරියන් හැරල්ඩ් පුවත් සේවය සඳහන් කළේය. දැනටමත් නිවැසියන් දෙදහසකට අධික පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.