ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නුවර පිහිටි නසීර් රෝහලට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මායිල් බර්හුම් මියගිය බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ජ්‍යෙෂ්ඨ නායකයා සමඟ 16 හැවිරිදි දරුවකු ද ජීවිතක්ෂයට පත්වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සිය දේශපාලන අංශයේ නායකයා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය බව හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
මියගිය හමාස් නායකයා ඊට දින 4කට පෙර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තුවාල ලබා නසීර් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි බව වාර්තා වේ.
නසීර් රෝහලට ගුවන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පුළුල් බුද්ධි තොරතුරු රැස් කිරිමේ ක්‍රියාවලියකින් පසුව බව එම ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති අතර, හානිය අඩු කිරීම සඳහා අවම පතරොම් තොගයක් පමණක් භාවිත කළ බව ද ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එම ප්‍රහාරයෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍යවරුන් ඇතුළු බොහෝ පිරිසක් තුවාල ලැබූ බවය.
රෝහලේ විශාල කොටසක් විනාශ වී ඇති බැවින් රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කළ බව ද එම නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ.