-විපක්ෂයේ මීළඟ ජනපති අපේක්ෂක ලෙසත් නම් කරයි
දූෂණ වංචා සහ ත්‍රස්තවාදීන්ට සහාය දීම වැනි චෝදනා රැසක් සම්බන්ධව අත්අඩංගුවට පත්වූ තුර්කියේ ඉස්තාන්බුල් නුවර නගරාධිපති එක්රාම් ඉමාමොග්ලු එරට ප්‍රධාන විපක්ෂයේ මිළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නිල වශයෙන් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති රිසෙප් ටයිබ් ඒඩොගන්ගේ ප්‍රබලතම දේශපාලන ප්‍රතිවාදියා වන එක්රාම් අත්අඩංගුවට ගැනීමෙන් දින 4කට පසු තුර්කියේ ප්‍රධානතම විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂය ලබන 2028 මැයි මස 7 වැනිදා පැවත්වීමට නියමිත එරට ජනාධිපතිවරණය සඳහා පක්ෂ මට්ටමෙන් අපේක්ෂකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුම පැවත්වූ අතර, 53 හැවිරිදි ඉස්තාන්බුල් නගරාධිපතිවරයාට එම පක්ෂයේ මිලියන 1.7ක ඡන්දදායකයන් අතරින් ඡන්ද මිලියන 1.6ක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
නගරාධිපති එක්රාම් අත්අඩංගුවට ගැනීමත් සමඟ ජනාධිපතිවරයාට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා පැතිරී ගොස් ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත ජනතාව වීදි බැස විරෝධතාවේ නිරත වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එක්රාම් අත්අඩංගුවට ගැනීමෙන් පසු පෙළපාලි සහ මහජන ඒකරාශිවීම් තහනම් කිරීමට ජනපතිවරයා විසින් පියවර ගනු ලැබූ බව ද වාර්තා වේ. වසර 2014 සිට තුර්කියේ ජනාධිපති ධුරයේ කටයුතු කරන ඒකේපී පක්ෂයේ රිසෙප් පසුගිය 2023 වසරේදී දෙවැනි වරටත් තේරී පත්වූ අතර, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෙවතාවකට වඩා ජනපති ධුරයේ කටයුතු කළ නොහැකි වුවත්, ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ හදිසි මැතිවරණයකින් ඔහු නැවත බලය අත්කර ගනු ඇතැයි ද විපක්ෂය සැක පහළ කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන ලෙසත්, අනීතිකව අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයාට යුක්තිය ඉටු කරන ලෙසත් ඉල්ලා විරෝධතාවේ නිරත වූ ජනතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.