ව්‍යවසායකයකු බිහිවන්නේ රටේ සම්පත්, තාක්ෂණික මග පෙන්වීම සහ ධෛර්යවන්තයකු ඒ සඳහා නියැළීම යන කරුණු සියල්ලම එක්වීමෙනි. රටක කර්මාන්ත බිහිකිරීමට රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍ය වනුයේ අපේ රට තවදුරටත් කර්මාන්ත සඳහා ආධුනික හෙයිනි.
මෙවර විස්කම් තුළින් කර්මාන්ත අභියෝගය ජයගත් අපූරු කර්මාන්ත විස්කම්කරුවෙක් ඔබට හඳුන්වා දෙමු. ඔහු රාජාංගණය යාය 14, රනිල් වසන්තයි. රනිල් ජපන් ජබර වැනි ආක්රමණික ශාක, කෙඳි සහිත ශාක සහ ප්‍රයෝජනයක් නොමැති යැයි සලකන ශාක යොදාගෙන කඩදාසි නිෂ්පාදනය කරන්නෙකි. ඔහු කඩදාසි නිෂ්පාදනය පමණක් නොව එම කඩදාසි යොදා ආකර්ෂණීය පොත්පත්, බෑග්, කඩදාසි නෝට් බුක් සහ කඩදාසි ආශ්රිත නිමි නිෂ්පාදනද බිහි කරන්නෙකි.
රටේ ප්‍රධාන සංචාරක නගරවලට ඔහුගේ ආකර්ෂණීය නිර්මාණ සඳහා සපුරාලිය නොහැකි තරම් හොඳ වෙළෙඳපොළක් අද වනවිට බිහිවී තිබේ. ඊට අමතරව තුන්වන පාර්ශ්වයක් හරහා මාලදිවයින සහ කැනඩාව යන රටවලටත් අපනයන මගින් විදේශ විනිමය රටට ගෙන එයි. මේ වන විට ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය සඳහාද එම නිමි නිෂ්පාදනවල සාම්පල හඳුන්වාදීම සිදු කර තිබේ.
විරල ගණයේ සහ පරිසර හිතකාමී නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කර හොඳ වෙළෙඳපොළක් සොයා ගැනීම සහ එහි සාර්ථකත්වය දක්වා රනිල් වසන්ත ආ ගමන පිළිබඳ විස්කම් වෙත දැක් වූ අදහස් මෙසේය.
‘අ.පො.ස. උසස් පෙළ දක්වා ඉගෙනගෙන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සොල්දාදුවෙක් ලෙස රැකියාව කළා. එයින් විශ්‍රාම ගත්තට පසුව මට කර්මාන්තයක් කිරීමේ අවශ්‍යතාව තිබුණා. 2011දි ‘යළි පිබිදෙමු’ ව්‍යාපෘතියට මා සම්බන්ධ වුණා. ව්‍යාපෘතියේ දී කර්මාන්ත අදහස් ලබාදුන්නේ ධම්මික රණසිරිගේ මහතායි. නේපාලයේ ව්‍යාපෘතියක විශේෂ ශාකයකින් කඩදාසි නිර්මාණ පිළිබඳ ඔහු දැනුම ලබා දුන්නා. මම ඒකට ආදේශයක් විදියට ජපන් ජබර, මාන වැනි කෙඳි සහිත ශාකවලින් කඩදාසි නිෂ්පාදනය පිළිබඳ අත්හදා බැලුවා. ධම්මික මහතා මේ ව්‍යාපෘතිය හරහා අවශ්‍ය දැනුම ලබාදීමෙන් පසුව ඒ මූලික දැනුම යොදාගෙන දිගටම පර්යේෂණ කළා.
එහි ප්‍රතිඵලක් ලෙස මම 2020 දී පමණ ජපන් ජබරවලින් කඩදාසි නිෂ්පාදනය නිවසේ දී ආරම්භ කළා. 2021 වසරේ දී ‘සෞභාග්‍යා’ වැඩසටහන යටතේ රාජ්‍ය අනුග්‍රහයත් මට ලැබුණා. රාජ්‍ය අනුග්‍රහය විරල කාලෙක අංක 455, හේනගල හිටපු ග්‍රාම නිලධාරිනිය සෙව්වන්දි ප්‍රසංගිකා මහත්මිය මේ කර්මාන්තය ආරම්භයට ප්රවිෂ්ටයක් වුණා. ඒ වගේම රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් මට සහයෝගය ලබා දුන්නා.
රාජ්‍ය අනුග්‍රහය නැතිව අපිට කර්මාන්ත ආරම්භ කරන්න බැහැ. ඒකත් නිලධාරින්ගේ අනුග්‍රහය සැලකිල්ල අත්‍යවශ්‍යයි. මගේ පෞද්ගලික මුදල් ආයෝජනය කර ව්‍යාපාරය ආරම්භ කළා. ආරම්භයේ සිට පිරිසකගේ ශ්‍රමය අවශ්‍ය වුණා. ඒත් ඒ පිරිසට පඩිනඩි ගෙවන්න නම් මගේ නිෂ්පාදනය අලෙවි කළ යුතු වුණා. මුදල දී මගේ කඩදාසිය කිසිවෙක් මිල දී ගත්තේ නැහැ. බොහෝ දෙනෙක් එම කඩදාසිය නැවත සකස් කළ කඩදාසි වර්ගයක් ලෙස සැලකුවා. නිෂ්පාදනය අලෙවියක් නැති නිසා, මාගේ කර්මාන්තයට සහාය දක්වන අයට පඩිනඩි දෙන්නට බැරිව ගියා. ඒ හේතුවෙන් සමහර ශ්‍රමිකයන් මාව අතහැර ගියා.
ආරම්භයේ දී මට රජයෙන් කිසිදු ආධාරයක් දුන්නේ නැහැ. ඒත් මම තනිවම මගේ නිෂ්පාදනය සඳහා වෙළෙඳපොළ සොයා ගන්නට මහන්සි වුණා. කඩදාසිය සෘජුව අලෙවිය වෙනුවට එයින් නිමි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පියවර ගත්තා. ඒ අනුව පොත්, බෑග්, කවර වගේ මේ අලංකාර නිර්මාණ බිහි කළා. ඒ සඳහා මම සංස්කෘතිමය වටිනාකමක් තිබෙන නිර්මාණ තෝරාගත්තා. අදාළ සංචාරක නගරයට ආවේනික කලා නිර්මාණ කඩදාසි නිමි නිෂ්පාදන සඳහා භාවිත කළා. මේවා අලෙවි කරගන්නට මම ගමින් ගමට ගියා. සමාජ මාධ්‍යයේ පළ කළා. විශ්වවිද්‍යාල තුළට ගියා. ඒවගේම සංචාරක නගර ඉලක්ක කරගත්තා. මේ අවස්ථාවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ සුගත් නයනානන්ද මහතා මට මග පෙන්වීම කළා. ඒවගේම උමන්දාවේ හමුදුරුවොත් උදව් උපකාර කළා.
නිමි භාණ්ඩවල තිබෙන ආකර්ශනය නිසා ඒවා අලෙවි වුණා. අද වන විට මට සපුරාලිය නොහැකි තරම් හොඳ ඉල්ලුමක් රට තුළ තිබෙනවා.
ජපන් ජබර ගලවා, සෝදලා ඒවා කපන උපකරණ මගින් කපා, තලා පල්ප් එකක් හදනවා. ඒ පල්ප් එකෙන් කඩදාසිය සඳහා තලන ලද ඉතා සියුම් කෙඳි අච්චුවකට ගෙන වියළා කඩදාසිය හදනවා. මේ කඩදාසිය විශේෂයි කියලා ඔබ එය භාවිත කළොත් පැහැදිලි වෙයි. මේ වන විට ජපන් ජබරත් සමඟ ශාක වර්ග 43ක් කඩදාසි නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. ඒ සෑම ශාකයක් පිළිබඳ මම පර්යේෂණ කර සොයාගත්තා.
අනුරාධපුරය, රාජාංගණයේ වැව් සහ ජලාශ ඕනෑ තරම් තිබේ. ඒවායේ මෙවැනි ආක්‍රමණශීලී ශාකත් බහුලයි. ඒ ආශ්‍රිතව නිෂ්පාදනයන් කිරීමෙන් පරිසරයටත් යහපතක් සැලසේ. රනිල් වසන්ත මහතා පවසන අන්දමට ඔහුගේ නිෂ්පාදන සඳහා තිබෙන ඉල්ලුම සපුරාලීමට මේ කර්මාන්තය තවත් පුළුල් කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා දැනට තිබෙන ඉඩකඩ ඔහුගේ කර්මාන්තය පුළුල් කිරීමට නොහැකිය. අක්කර දෙකක ඉඩමක් සහ ගොඩනැඟිලි දෙකක් ඔහුට ලබාදීමට රජය අතහිත දෙන්නේ නම්, එම ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ටත් රැකියා අවස්ථාව උදා කළ හැකි යැයිද ඔහු දිනමිණට පැවැසීය.
යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. අක්කර දෙකක ඉඩමක් සහ ගොඩනැඟිලි දෙකක් රජය සපයා දෙන්නේ නම් රැකියා විරහිත තරුණ පිරිසකටත් රැකියා ලබාදිය හැකියි.
ඉරෝෂා දීපානි