Wednesday, March 26, 2025
Home » වියළි වී එකතු කරන අලුත් තාලයේ මැෂිම

වියළි වී එකතු කරන අලුත් තාලයේ මැෂිම

-රජරට අලුත් නිර්මාණකරුවකුගේ වැඩක්

by sachintha
March 25, 2025 4:00 pm 0 comment

මේ මැෂින් එකෙන් අඩු වියදමකින් දැනට වී මිටි 40ක් 50ක් අතර ප්‍රමාණයක්, ඒ කියන්නෙ කිලෝ 3000ක් වගේ ගණනක් පැයක් ඇතුළත එකතු කර ගන්න පුළුවන්. නමුත් මේ මැෂිම තවත් කාර්යක්ෂම කළොත් වී මිටි 100ක් ඒ කියන්නේ කිලෝ 6000ක් වගේ පැයක් ඇතුළත එකතු කර ගන්න පුළුවන්.

රටක සභ්‍යත්වය කෙරෙහි ප්‍රබලව බලපාන සාධක අතුරින් අර්ථ ක්‍රමය සුවිශේෂි වන්නකි. මෙරට සභ්‍යත්වය ගොඩනැගුණේ වී ගොවිතැන මුල් කර ගනිමින්ය. වර්තමානයේ තාක්ෂණික සොයා ගැනීම් හමුවේ නූතන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ද වේගයෙන් වෙනස්කම්වලට භාජනය වෙමින් පවතියි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ගොවි මහතුන් ද තම පහසුව වෙනුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව නිපැයුම් ද සිදු කරන ආකාරය ද පසුගිය කාලයේ විස්කම් තුළින් අපට දැක ගත හැකි විය.

මෙම කතාවද එවැනි ගොවි මහත්මයකු විසින් වී ගොවිතැනේ පහසුව වෙනුවෙන් සිදු කරන ලද නව නිපැයුමක් පිළිබඳව ය. පොලොන්නරුව, වැලිකන්ද, රිදීපොකුණ ග්‍රාමයේ ගොවිතැන් කටයුතුවල නිරතවන ඉන්දික බණ්ඩාර ගොවි මහතා විසින් වේළන ලද වී එකතු කිරීම සඳහා නව යන්ත්‍රයක් නිර්මාණය කර ඇත. මෙම යන්ත්‍රය හේතුවෙන් එම ප්‍රදේශයේ අනෙක් ගොවි මහත්වරුන්ගේ වේළන ලද වී එකතු කිරීමේ කටයුතු පහසු වී ඇත. තම නව නිර්මාණය පිළිබඳව ඉන්දික බණ්ඩාර ගොවි මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“අපි ගොයම් කපන මැෂින්වලින් ගොයම් කපලා වී වේළන්න දාන්නේ පාරේ හෝ කමතෙ. එහෙම වේළන්න දාන වී වේළීමෙන් පසුව, වැස්සක් එද්දි හනිකට එකතු කිරීම තමයි අමාරුම වැඩේ. සෑහෙන වෙලාවක් යනවා එකතු කරන්න. ඒ වගේම වියදමකුත් යනවා. මේ ගැන කල්පනා කළ මම, මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ දී මගේ සැලසුම අනුව මැෂිමක් හදන්න පටන් ගත්තා. මැෂින් එක හදලා අවසන් කරන්න දින 45ක් 50ක් වගේ කාලයක් ගියා.”

“ගොයම් කපන මැෂිමේ තිබෙන දඟරය, බට, බොක්ස් බාර්, රබර්, බයික් එංජින් වීල් සහ කොසු කිහිපයක් වගේ ද්‍රව්‍ය තමයි මැෂිම හදන්න උපයෝගි කර ගත්තේ. රුපියල් 50,000කට ආසන්න මුදලක් වැය වුණා.”

“අත් ට්‍රැක්ටරයේ හාන්න පාවිච්චි කරන කොටස ඉවත් කරලා මම හදපු මැෂිම ඒකට සවි කරලා තමයි මේ මැෂිම හදලා තිබෙන්නේ. මේ මැෂිම මම හදන්නේ මගේම සැලසුමක් හා අදහසක් අනුවයි. අවසානයේ වැඩේ සාර්ථක වුණා.”

“තැනිතලා ප්‍රදේශයක වී වේළලා තිබුණත්, පැයක් ඇතුළත මේ මැෂිමෙන් වී ඇටයක් නෑර වී ටික එකතු කරගන්න පුළුවන්. වියළි වී පමණක් නෙමෙයි, අමු වී පවා මේ මැෂිම මඟින් එකතු කර ගන්න පුළුවන්.”

ඉන්දික බණ්ඩාර ගොවි මහතා විසින් මෙවර මහ කන්නයේ දී වගා කරන ලද වී අස්වනු වේළීමෙන් පසුව මෙම යන්ත්‍රයෙන් සියලු වී පැයක් ඇතුළත එකතු කර ගැනීමට ඔහු සමත් වී ඇත. වී වේළීම සඳහා, ඉදල්, බෝල අතු හා පෝරුව වැනි උපකරණවලට අමතරව මිනිසුන් කිහිප දෙනකුගේ සහාය ද අවශ්‍ය වේ. නමුත් ඉන්දික ගොවි මහතා පවසන්නේ, මෙම මැෂිම මඟින් වී එකතු කිරීමට කිසිදු උපකරණයක් අවශ්‍ය නොවන අතර වී එකතු කිරීමට අවශ්‍ය වන්නේ එක පුද්ගලයෙක් පමණක් බවය.

මේ පිළිබඳව ඉන්දික බණ්ඩාර මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“මේ මැෂින් එකෙන් අඩු වියදමකින් දැනට වී මිටි 40ක් 50ක් අතර ප්‍රමාණයක්, ඒ කියන්නෙ කිලෝ 3000ක් වගේ ගණනක් පැයක් ඇතුළත එකතු කර ගන්න පුළුවන්. නමුත් මේ මැෂිම තවත් කාර්යක්ෂම කළොත් වී මිටි 100ක් ඒ කියන්නේ කිලෝ 6000ක් වගේ පැයක් ඇතුළත එකතු කර ගන්න පුළුවන්. ඒ නිසා ලබන කන්නය වෙද්දි මේ මැෂිම මීට වඩා දියුණු කරලා කාර්යක්ෂමව වැඩක් ගන්න බලාපොරොත්තු වෙනවා.”

නමුත් ඉන්දික බන්ඩාර ගොවි මහතාට ආර්ථික ප්‍රශ්නවලට අමතරව ඇති තවත් ප්‍රශ්නයක් නම් ලියවන පට්ටලයක් නොමැති වීමය.

“මම මීට පෙරත් නව නිපැයුම් කරලා තිබෙනවා. මට තිබෙන ප්‍රශ්නය ලියවන පට්ටලයක් නොමැති වීමයි. ලියවන පට්ටලයකින් හදන්න මම කිලෝමීටර් 18ක් 20ක් වගේ දුරකට, නගරයට යන්න ඕන. ඒ ගිහින් හදාගෙන ආවත් හැඩයේ සුළු වෙනස්කම් තිබුණොත් නැවත ඒක අරන් කිලෝ මීටර් 18ක් 20ක් යන්න ඕන. ඒ නිසා ලියවන පට්ටලයක් ගන්න උත්සාහ ගනිමින් ඉන්නවා.”

වී එකතු කරන මැෂිමට පෙර ඉන්දික බණ්ඩාර ගොවි මහතා විසින් තවත් නව නිපැයුම් කිහිපයක්ම නිර්මාණය කොට ඇත. ඒ පිළිබඳව ඉන්දික බණ්ඩාර ගොවි මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“කලින් ලංකාවේ ඇති වුණු පොහොර ප්‍රශ්නය කාලයේ දී මම කොම්පෝස්ට් අඹරන මැෂින් එකක් හැදුවා. ඒ මැෂිමෙන් තමයි කුඩු කරලා මගේ වෙලටත් පොහොර ඉස්සෙ. ඒ වගේම ලීඩර් මැෂිමකුත් මම හැදුවා”

“දැනට මගේ උත්සාහයක් තිබෙනවා ගොයම් හිටවන මැෂිමක් හදන්න. රටින් ගෙනාව ගොයම් හිටවන මැෂිමකින් මම කුඹුරේ ගොයම් හිටවලා තිබෙනවා. නමුත් ඒ මැෂින් ලංකාවට ගැළපෙන්නේ නැහැ. ඊට හේතුව රටින් ගෙනාව මැෂින් එකෙන් ගොයම් හිටවෙන්නේ දුරින්, ලොකු පරතරයක් ගන්නවා. නමුත් ලංකාවේ පොළොවේ ගොයම් හිටවන්න නම්, පරතරය කෙටි වෙන්න ඕන. ලංකාවේ ගොවිතැන් කටයුතුවලට ගැළපෙන ආකාරයෙන් මට ගොයම් හිටවෙන මැෂිමක් හදන්න පුළුවන්. මම ගොවිතැන් කටයුතු කරන අතරේ මේ වගේ නව නිපැයුම් කරන්නත් උත්සාහ කරනවා.”

ඒ අනුව රජයෙන් යම් පහසුකම් සපයා දුන්නොත් ඉතා කෙටි කලකින් නිෂ්පාදනය කළ මෙම මැෂිම, මීට වඩා කාර්යක්ෂමව නිර්මාණය කර අනෙකුත් ගොවි මහත්වරුන්ගේ ගොවිතැන් කටයුතුවලට ද ලබා දීමට හැකි බව ඉන්දික බණ්ඩාර ගොවි මහතා සඳහන් කළේය.

එම්. තාරික්

ඡායාරූපය අන්තර්ජාලයෙනි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT