රාවණා, කියන්නේ ජනප්‍රවාදයක චරිතයක්. රාවණා හිටියා හෝ රාමායණයේ සිදුවීම් තහවුරු කරන පුරාවිද්‍යාත්මක සාක්ෂි (මගේ දැනුමේ හැටියට) කිසිවක් නෑ. හැබැයි ඉන්දියානුවන් වෙතට ලංකාව සංචාරක ගමනාන්තයක් විදිහට ප්‍රවර්ධනය කරන්න රාවණා පුරාවෘත්තය හරි ලස්සනට යොදා ගන්නවා. මෑතකදී සංචාරක අමාත්‍යාංශය හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවය රාවණා කතාව යොදාගෙන කරපු බරසාරේට වයිරල් වුණු කමර්ෂල් එක ආසන්නම උදාහරණයක්.
එහෙම ජනප්‍රවාද හරහා සංචාරක ආකර්ෂණය දිනාගත්තු තවත් තැන් කිහිපයක්ම ශ්‍රී ලංකාවේ තියෙනවා. ඒවා රටක් විදිහට සංචාරක කර්මාන්තයෙන් ගොඩයන්න අපිට තියෙන වත්කම්.
ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම එහෙම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ජනප්‍රවාද හරහා ගොඩනැඟෙන ‘කතාන්දර’ යොදාගන්නවා.
දානිගල කන්දත් කාලයක් තිස්සේ ප්‍රදේශවාසින් ‘පිටසක්කළයෝ’ ගොඩබහිනවා යැයි ‘විශ්වාස’ කරපු තැනක්. කන්දේ හැඩය, කන්ද ආශ්‍රිතව කරන කැණීම්වලදි හමුවෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි මේ ජනප්‍රවාදවලට තවත් විශ්වසනීයත්වයක් එකතු කරනවා. පහුගිය අවුරුදු කිහිපයේදි දේශීය සංචාරකයින්ගේ අවධානය දානිගලට යොමු වුණු හැටි යූටියුබ්වලින් හොයාගන්න පුළුවන්.
පහුගිය දවසක ටී.බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා, රූපවාහිනී වැඩසටහනකදි තමන්ගේ දිස්ත්‍රික්කය ඒ කියන්නේ පොලොන්නරුවේ අලුත් සංචාරක ගමනාන්ත මොනවද හඳුනාගෙන තියෙන්නේ ඇහුවම, දිඹුලාගල ප්‍රදේශයේ තියෙන දහයියාගල කඳු වැටිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කරන්න විභවයක් තියෙනවාය කියන කතාව ගේනවා. එතැනදි අමාත්‍යවරයා ජනප්‍රවාදය තදින් විශ්වාස කරනවාය වගේ හැඟීමක් ඇතිවෙන ප්‍රකාශයක් කරනවා. පිටසක්වළ ජීවීන් ගොඩබහින ජනප්‍රිය තැනක් තමයි දානිගල (ඇමැතිවරයා කියන්නේ දහයියාගල) ඒක තමා විකුණන ස්ටොරි එක කියනවා.
අමාත්‍යවරයාගේ සන්නිවේදනයේ දුර්වලකමක් තිබුණත් ඔය පිටසක්වළ කතාන්දරය ‘විකිණිය හැකි’ දෙයක්. දැන් ‘කොහොමද අපිට මේ මිනිස්සු මඟ හැරුණේ’ තීම් එකෙන් ඇමැතිවරයාව ට්‍රොල් කළත් සංචාරක කර්මාන්තයෙන් ඉස්සරහට යන්නනම් ඉතා ඉක්මනින් අලුත් ගමනාන්ත ප්‍රවර්ධනය කරන්න වෙනවා. මේ වෙද්දි ජනප්‍රියම ගමනාන්ත වන ඇල්ල, හික්කඩුව වගේ තැන් පහු කරමින් ඉන්නේ දරාගන්න පුළුවන් උපරිම සීමාවේ. දානිගල – Alien mountain වගේ ගමනාන්ත ඒවට ගන්න පුළුවන් හොඳ විසඳුම්.
අපි කැමැති වුණත් අකමැති වුණත් සංචාරක කර්මාන්තය ගොඩ දාන්නනම් ඇමැතිලාට හූ කියන අතරෙම ඔය විකල්ප ගමනාන්තවලට යන ව්‍යාපෘතිවලට උදැල්ල නොදා ඒවයේ හොඳ නරක ගැන හොයලා සංවාදයක් ගොඩනඟන්න පුළුවන්නම් පුරවැසි වගකීමක් ඉටු කළා වෙනවා.
වරුණ සුදන්ත