Wednesday, March 26, 2025
Home » 15කට පසු…

15කට පසු…

by sachintha
March 25, 2025 4:27 pm 0 comment

මීට අවුරුදු 15කට පෙර, 2010 අප්‍රේල් 2 දා මහමැතිවරණ සමයේ මාගේ වාහනයට ආයුධයක් දමා, මා හා හිතවත් සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දින 70ක් බන්ධනාගාරගත කිරීමේ සම්පූර්ණ කුමන්ත්‍රණයේ මහ මොළකරුවා මොහුය.

වසර 10ක බොරු නඩුවකට පටලවා ගෙවී ගිය වසර 15ක කාලයක් අපගේ පෞද්ගලික, වෘත්තීය හා දේශපාලන ජීවිතය යළි ගොඩගත නොහැකි තරම් ආපස්සට ඇද දැමූ අධමයා මොහුය.

වසර දහයක් රටේ නමගිය නීති සමාගමකට ගෙවූ මුදල කොපමණදැයි ඔබ විශ්වාස නොකරනු ඇත.

එදා ද අපි අධිකරණය පිළිබඳව විශ්වාසය තැබූවෙමු. මොහු සතුව ආයුධ ගබඩාවක් ඇතැයි පොලිස් නිලධාරියකු එදා මිරිහාන පොලීසියේ දී මා සමඟ කීවේය. මාගේ වාහනයට දැමූ පිස්තෝලයට වඩා බරපතළ ආයුධයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔහු සැලසුම් කළ ද අපගේ වාසනාවට එය කළ නොහැකි විය.

පසුව මා හට දැනගන්නට ලැබුණේ මා LTTE සංවිධානය සමඟ සබඳතා ඇත්තෙකු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කරවීමට මොහු විශාල උත්සාහයක් දැරූ බවයි.

එදා පොලීසිය භාරයට ගත් එවකට මා සේවය කළ ආයතනයට අයත් වාහනයට ද ගංජා මත්ද්‍රව්‍ය දමා මා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ බවට ඔප්පු කිරීමටද ඔහු උත්සාහ දැරීය.

මොහු පැරා මිලිටරි කණ්ඩායමක් මෙහෙයවන බව අප කීවේ අද ඊයේ නොවේ.

නීතිය හැදෑරූ මා විශ්වාස කළේ අධිකරණය පමණි. මා සැමදා පැවසුවේ ස්වභාවධර්මය ඔවුන්ට දඬුවම් කරනු ඇති බවයි.

එදා මේ කුමන්ත්‍රණයට හවුල් වූ, උල් පන්දම් දුන් රාජපක්ෂ ත්‍රස්ත කල්ලියේ ඉදිරි පෙළ තිදෙනකුගේ ඉරණම අද මට පෙනි පෙනී තිබේ.

අමුතුවෙන් කිව යුතු නැත. දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර තුනක මූණට මූණ බලාගෙන එළියට ඒමට තුන්කොන් සටනක යෙදී සිටී.

සියලු චෝදනාවලින් අධිකරණයෙන් නිදහස් වූ දිනයේ මා ජනමාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මේ සමඟ අමුණා ඇත.

දේශබන්දු තෙන්නකෝන් යන නම කනින් කොනින් පමණක් අසා තිබූ, විදේශගතව සිටින මාගේ පුංචි පුතා අද උදෑසන මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් එවා තිබිණ.

මා මේ සටහන ලියන්නට පෙලඹවූයේ ඒ කෙටි පණිවුඩයයි.

‘BRO GOT HIS KARMA AFTER 15 YEARS’

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මා කළ යුතු ප්‍රකාශය ඊයේ අධිකරණයේදී කළේය.

‘මොහුට දිට්ඨධම්මවේදනීය කර්මය පල දීලා තියෙන්නේ’

සිරිකොතේ බංකුවේ නිදා ගත්ත මිනිහෙක් පොලිස්පති කරලා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කරපු හානියක්.

සුසිල් කිඳෙල්පිටිය

ප.ලි. දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥ බිරිඳ හා පුතා දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒගොල්ලන්ටත් මේක යවන්න. මොහු කළ අපරාධ ගැන දන්නේ මාධ්‍යවේදීන් වූ අප පමණයි.

අද මේවා දකින වින්දිතයන් යළි අතීතය ආවර්ජනය කරමින් නුඹට සාප කිරීම අරඹනු ඇත.

සුසිල් කිඳෙල්පිටිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT