Wednesday, March 26, 2025
Home » අපට නිශ්චිත මැතිවරණ කැලැන්ඩරයක් ඕනෑ
විවරණ

අපට නිශ්චිත මැතිවරණ කැලැන්ඩරයක් ඕනෑ

by sachintha
March 25, 2025 4:00 pm 0 comment

දේශපාලන හේතු නිසා දිගින් දිගටම කල් ගිය පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවා, මැයි හය වැනි දින මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මඟින් දින ලබා දී තිබේ. පළාත් පාලන මැතිවරණය දීර්ඝ කාලයක් නොපැවැත්වීම තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ හානිය, අංකුර නායකයන් බිහිවීමට සිදු වූ බාධා සහ ප්‍රාදේශීය පරිපාලනය බිඳ වැටීම සහ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ වැදගත්කම පිළිබඳව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකැසුණි.

මැයි මස හයවැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේදීය. ඉන්පසු පළාත් පාලන ඇමැතිවරයාට පැවරී ඇති බලතල අනුව එම මැතිවරණය තවත් වර්ෂයක කාලයක් සඳහා කල් දැමූ අතර ඉන්පසු රට තුළ ඇති වූ විවිධ හේතු නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමූ අතර එයට එවකට පැවති ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවිධ හේතු දැක්වුවද එහි ඇත්තම හේතුව වූයේ 2024 සැප්තැම්බර් පැවැත්වූ ජනාධිපතිවරණය තෙක් කිසිදු මැතිවරණයක් රට තුළ නොපවත්වා ජනාධිපතිවරණය සඳහා කෙළින්ම මුහුණදීමය. එයට එහි තිබූ එකම හේතුව දේශපාලනික කරුණක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

බලය

මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීමට ප්‍රධානම හේතුව ලෙස සැලකිය හැක්කේ මෙරට මැතිවරණ සිතියම තුළ නිශ්චිත මැතිවරණ කැලැන්ඩරයක් නොමැති වීමය. ජනාධිපතිවරයාට නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන අතර ජනාධිපතිවරණය ද ජනාධිපතිවරයාට රිසි නම් වසරකට පෙර කැඳවීමේ බලය තිබේ. පළාත් සභා, පළාත් පාලන මැතිවරණය ද එසේමය නිශ්චිත මැතිවරණ කැලැන්ඩරයක් නොමැති වීම නිසා මෙවැනි ගැටලුසහගත තත්ත්වයන් ඇතිව තිබේ.

මේ සියලු කරුණු ගෙන සලකා බලන කල සඳහන් කළ හැකි කරුණක් ලෙස පෙන්වා දිය හැක්කේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට බලයේ සිටින දේශපාලන පක්ෂයේ කැමැත්ත නැතිනම් බලයේ සිටින ජනාධිපතිවරයාගේ කැමැත්ත අනුව තීරණය කරනු ලබන බවය. පසුගිය කාලයේදී මෙරට පළාත් පාලනය අතුරුදන් වීම පසුපස තිබුණේ ද එවැනි තත්ත්වයකි.

අනෙක් පසින් මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස සඳහන්ව තිබුණ ද එයට මූල්‍ය ස්වාධීනත්වයක් නොමැති වීම ඉතාමත් තදින් දැනෙන කරුණකි. පසුගිය කාලයේදී පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ගත් ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වූයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් මුදල් නිදහස් නොකිරීමය. කොමිෂන් සභාවට මූල්‍ය ස්වාධීනත්වයක් තිබුණේ නම් එය එසේ නොවීමට ඉඩතිබුණි.

එසේම පළාත් පාලන මැතිවරණය සඳහා තවත් කරුණු රැසක් ද ඉදිරිපත් කෙරිණි. ඒ සඳහා එක් අවස්ථාවක ගත් ක්‍රියාමාර්ගයක් වූයේ තරුණ නියෝජනයක් අවශ්‍ය යැයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සිදු කිරීමට උත්සාහ කළ අතර, එහි පවිත්‍ර අරමුණ බවට පත්ව තිබුණේ තරුණ නියෝජනයක් ලබා දීම නොවේ. තවත් වරෙක මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වෙත බලපෑම් එල්ල කළ බවට ද තොරතුරු වාර්තා විය. මේ සියලු කරුණුවලට ප්‍රධාන හේතුව බවට පත්වූයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත මූල්‍ය ස්වාධීනත්වය නොමැති වීම යන කරුණුය. ඒ නිසා මූලික ලෙස කළ යුතු දෙයක් ලෙස අප විසින් සලකනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව වෙත අවශ්‍ය කරනු ලබන ස්වාධීනත්වයයි. ස්වාධීන ලෙස තීරණ ගැනීමේ හැකියාව ලැබෙන්නේ එසේ සිදු වූ කලය.

මෙවර පළාත් පාලන මැතිවරණය තුළ තරුණ නියෝජනය සහ කාන්තා නියෝජනය ඉහළ දැමීමට කටයුතු සිදුවීම ඉතාමත් සාධනීය කරුණක් ලෙස සඳහන් කළ යුතුය. එහෙත් පසුගිය කාලයේදී පළාත් පාලන මැතිවරණය අසාමාන්‍ය ලෙස කල්යෑම නිසා මෙරට අනාගතය භාර ගැනීමට සිටි අංකුර නායකයන් රැසකට ඒ අවස්ථාව අහිමි විය. එදා නාම යෝජනා භාර දුන් සැලකිය යුතු පිරිසකට මෙවර නව මැතිවරණය තුළ තරග කිරීමට අවස්ථාව ලැබී නැත. එතුළම අංකුර නායකයන් වෙත සුවිශාල අසාධාරණයක් වූ අතර එය මෙරට දේශපාලනය තුළ සිදු වූ අසාධාරණයක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

පළාත් පාලන ආයතන යනු රටක ඉතාමත් බලවත් සහ වැදගත් ආයතනය පද්ධතියකි. මධ්‍යම ආණ්ඩුවට මුදල්මය කරුණු පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව තිබේ. ඒ හා සමාන හැකියාවක් පළාත් පාලන ආයතන පද්ධතිය සතුය. එමෙන්ම පළාත් පාලන ආයතනවල තිබෙන මේ සුවිශේෂ තත්ත්වය අනුව පළාත් පාලන ආයතන දේශපාලනයෙන් තොර ආයතන බවට පත්විය යුතුය. පළාත් පාලන නීති පද්ධතිය තුළ මන්ත්‍රී ධුර නැත. මෙහි තිබෙන්නේ සභික ධුරය. විපක්ෂ නායක කියා ධුරයක් පළාත් පාලන ආයතනවල නැත. නමට එසේ සඳහන් කළ ද සැබැවින්ම මෙවැනි ධුර නැත. සැබැවින්ම පළාත් පාලන ආයතන දේශපාලනයෙන් තොර ප්‍රජා සේවා ආයතන බවට පත්වීම වඩාත් සුදුසුය. එසේ සිදු කළ හැකිනම් පළාත් පාලන ආයතන පිළිබඳ දේශපාලන අර්ථ ගැන්වීම්වලින් බැහැරව කටයුතු කිරීමට පුළුවන.

වගකීම්

පළාත් පාලන ආයතන මෙන්ම මෙරට තුළ අවුරුදු පහළොවක සිට අතුරුදන්ව පවතින තවත් මැතිවරණයක් බවට පත්ව තිබෙන්නේ පළාත් සභා මැතිවරණයයි. මෙරට අවසාන වශයෙන් පළාත් සභා මැතිවරණයක් පවත්වනු ලැබුවේ වසර පහළොවකට ආසන්න කාලයකදීය. එය සැබැවින්ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නක් ලෙස සඳහන් කිරීමේ වරදක් නැත. එම වරද පසුගිය ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ දෙයක් වුවද එය නිවැරැදි කිරීම වර්තමාන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඇති වගකීමකි. එයට හේතුව ලෙස අප සඳහන් කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුව නියෝජනය කරනු ලබන පිරිස මැතිවරණ කල් දැමීමට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි පිරිසක් වීමය.

එනිසා දැන් කළ යුතුව තිබෙන ප්‍රධාන කරුණක් ලෙස අප දකින්නේ පසුගිය කාලයේ දී සිදු වූ අඩුපාඩු නැවත සිදු නොවන ආකාරයට මෙරට මැතිවරණ නීතියට අවශ්‍ය කරනු ලබන ප්‍රතිසංස්කරණ එක් කිරීමය. එහිදී නීති වෙනස් වීමට අවශ්‍ය සංශෝධන සිදු විය යුතු අතර එහිදී අප ආරම්භයේදී සඳහන් කළ පරිදි මැතිවරණ පිළිබඳ නිශ්චිත දින සහිත කැලැන්ඩරයක් ඇති කිරීම කළ හැකි අතර එමඟින් දේශපාලන අතපෙවීම් නිසා සිදුවන මැතිවරණ කල්දැමීම් සිදු නොවීමට ඉඩ නොලැබෙනු ඇත. එය ව්‍යවස්ථාවෙන්ම නිශ්චය කළ හැකි දෙයකි. පළාත් සභා මැතිවරණය කල්දැමීමේ කාර්යය නැවත ආපසු හරවා, පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට නම් කළ හැකිව තිබෙන විකල්ප දෙකක් තිබේ. එයින් පළමු වැන්න අලුත් ක්‍රමයකට මැතිවරණය පැවැත්වීම සඳහා සීමානිර්ණය ඉක්මන් කිරීමය. නැතිනම් නැවතත් පැරණි මැතිවරණ ක්‍රමය වෙත ගමන් කිරීමට අවශ්‍ය මැතිවරණ ක්‍රම සංශෝධනය කළ හැකිය.

පසුගිය යුගයේදී මැතිවරණයක් කියූ විට මුලින්ම මතුව එන ප්‍රවෘත්තිය බවට පත්වන්නේ ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය බලය අයථා ලෙස යොදා ගැනීම වැනි කරුණුය. ඒ එදා පැවති පැරැණි දේශපාලන ක්‍රමය තුළය. එහෙත් වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ එසේ කිරීමට නොවේ. ඔවුනගේ දේශපාලන ප්‍රතිපත්ති තුළ මේ කරුණු අරඹයා ඉහළ විනයක් ප්‍රදර්ශනය කර තිබීම සතුටට කරුණකි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මහමැතිවරණය පැවැතියේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් යටතේය. එදා එම මැතිවරණය ඉතාමත් සාමකාමී සහ රාජ්‍ය බලය, අයථා දේශපාලන බලපෑම් ඉතාමත් අඩු මහමැතිවරණයක් බවට පත්ව තිබුණි. එය මෙරට මැතිවරණ ක්‍රමයට ආදර්ශයක් සැපයූ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

අපගේ අපේක්ෂාව බවට පත්ව තිබෙන්නේ මෙම ක්‍රමය දීර්ඝකාලීනව මෙම නවීන සහ සාමකාමී මැතිවරණ වටපිටාවක අඛණ්ඩව පවත්වාගෙන යෑමය. වර්තමානයේ ආණ්ඩු බලය උසුලනු ලබන්නේ එදා රාජ්‍ය බලය යෙදවීම, අයථා දේශපාලන ඇඟිලි ගැසීම්වලට, ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කළ පිරිසකි. අද ඔවුන් ආණ්ඩු බලය දරන පිරිස වන අතර ඒ තත්ත්වය තුළ වැරදි ක්‍රම ඔවුන් අනුගමනය කරනු නොකරනු ඇතැයි අප අපේක්ෂා කරමු. ඔවුන් වුවද වරදක් සිදු කරයි නම් එයට එරෙහිව සටන් කිරීමට අපි පසුබට නොවෙමු.

එමෙන්ම මෙරට මැතිවරණ ක්‍රමය තුළ තිබෙන පැටලිලිසහගත ආකාරයේ වැරදි නිවැරැදි කිරීම කළ යුතුය. ඒ සඳහා ආණ්ඩුවට සුවිශේෂ බලයක් තිබෙන අතර එනිසා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම කළ යුතු අතර ඒ සඳහා හොඳම කාලය ලෙස මෙකල සඳහන් කළ හැකිය.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT