Wednesday, March 26, 2025
Home » සමාජ මාධ්‍ය අවභාවිතය වැළැක්වීමේ ක්‍රමවේද සකස් විය යුතුයි

සමාජ මාධ්‍ය අවභාවිතය වැළැක්වීමේ ක්‍රමවේද සකස් විය යුතුයි

by sachintha
March 25, 2025 4:00 pm 0 comment

වර්තමානයේ අප ජීවත් වනුයේ තොරතුරු සමාජයක ය. තොරතුරු මානව ජීවිතයට ඒ තරම් ම වැදගත් වේ. එකී තොරතුරු සමාජයේ (information society) ජීවත් වන අපට විවිධාකාර වූ ක්‍රමවේද මඟින් ලැබේ. ඒ අතරින් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රමුඛ වේ. ජනමාධ්‍යවල තොරතුරුවල විශ්වසනීයත්වය යම් පමණකට තහවුරු වුවත්, සමාජ මාධ්‍යයේ තොරතුරුවල විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු පවතී.

ඒ බව තහවුරු කරන උදාහරණ කිහිපයක් පසුගියදා අසන්නට ලැබිණි. සමාජ මාධ්‍ය මඟින් සංසරණය වූ එක්තරා වීඩියෝවකින් වැදි සමාජයට බරපතළ අසාධාරණයක් සිදු වී ඇතැයි කියමින් වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබිණි. මීට අමතරව, දළදා ප්‍රදර්ශනය පාදකකොට ගෙන මුදල් එකතු කිරීමේ ජාවාරමක් සමාජ මාධ්‍ය මඟින් සිදු කෙරෙන බව ද දැනගන්නට ලැබිණි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිළිබඳ වැරදි තොරතුරු සමාජගත කරමින් හුවමාරු වන ලේඛනයක් පිළිබඳව ද විභාග දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබිණි. එමෙන් ම ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් මුදල් එකතු කිරීමේ විවිධ ජාවාරම් සිදු වන බවටත්, මත්ද්‍රව්‍ය සහ ගණිකා ජාවාරම ව්‍යාප්ත කිරීමට හා නීති විරෝධි මූල්‍ය ගනුදෙනු සඳහාත්, තරුණයන්ගේ විවිධ නීති විරෝධි සාද පැවැත්වීම සඳහාත් සමාජ මාධ්‍ය භාවිත වන බව සැම දෙන දන්නා කාරණයකි.

ඉහත කී සියලු සාධකවලින් හැඟී යන්නේ සමාජ මාධ්‍යයේ තොරතුරු සංසරණය කිසියම් ආකාරයක නියාමන ක්‍රමවේදයකට යටත් කළ යුතු බවයි. වැරදි තොරතුරු සමාජගත කිරීමෙන් සිදු වන හානිය පිළිබඳ අවබෝධයක් සමාජ මාධ්‍ය හසුරවන්නන්ට නැති බව පැහැදිලි වේ.

සමාජ මාධ්‍ය යනු එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා ක්‍රියාකාරකම් ජීවිත සම්බන්ධතා වැනි දෑ අනෙකුත් ජනතාව සමඟ හුවමාරු කර ගැනීමට භාවිත කරනු ලබන අන්තර්ජාල වේදිකාවකි. ඒ පිළිබඳ වන න්‍යායාත්මක අර්ථකථනය සඳහන් වන්නේ ‘සමාජ මාධ්‍ය’ යනු යටත් ප්‍රජාවන් සහ ජාලයන් අතර තොරතුරු සහ අදහස් වෘත්තීය අවශ්‍යතා සහ වෙනත් ප්‍රකාශන නිර්මාණය කිරීමට හෝ බෙදා ගැනීමට පහසුකම් සපයන අන්තර් ක්‍රියාකාරි තාක්ෂණයකි, යනුවෙනි.

වර්තමානයේ අප හමුවේ ඇත්තේ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ ගැටලුවකි. සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ඒ පිළිබඳ නිසි වගකීමෙන් යුක්තව භාවිත කරන්නේද යන ගැටලුව අප හමුවේ පවතියි.

සමාජ මාධ්‍ය නියාමනය යන්න ඉතා දීර්ඝ කාලයක් තිස්සේ අප හමුවේ සාකච්ඡා වෙමින් පැවති කරුණකි. ඒ පිළිබඳ නීතිමය මැදිහත්වීම් ද විවිධ විවේචන සහිතව සිදු කෙරිණි. සමාජ මාධ්‍ය නියාමනය සහ වාරණය යනු කාරණා දෙකකි. මේ පිළිබඳ ප්‍රතිවිරෝධි අර්ථයෙන් අදහස් පළ කළ බොහෝ දෙනකු නියාමන ක්‍රියාවලිය යනු වාරණය යැයි සිතා අදහස් පළ කළ බවක් දක්නට ලැබිණි.

මේ මොහොතේ කවර තත්ත්වයක් යටතේ වුව ද සමාජ මාධ්‍ය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ සඳහා විධිමත් නියාමන ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වේ. එසේ නැති නම් ජනතාවට මෙන්ම පාලක පන්තියට ද පුරවැසි ජන සමාජයට ද එමඟින් අත් වන අයහපත් ප්‍රතිඵල ඉමහත් ය.

ජන සමාජයක යථා පැවැත්ම තහවුරු කර ගැනීමේදී රාජ්‍යය තුළ පවතින තොරතුරු නිෂ්පාදනය හා ගලා යෑම කළමනාකරණය කිරීමේ හැකියාව ද තිබිය යුතු ය. නියාමන ක්‍රියාවලියට එය අන්තර්ගත විය යුතු ය. මෙමඟින් පුරවැසි ජන සමාජයට තොරතුරුකරණයේදී අයහපතක් සිදු නො වේ.

වර්තමානයේ දියුණු සංවර්ධිත රටවල පවා තොරතුරු නිෂ්පාදනය හා බෙදාහැරීම විකාශය කිරීමේ ක්‍රියාවලිය කිසියම් ආකාරයක නියාමන ක්‍රියාවලියකට යටත්ව සිදු වේ. අන්තර්ජාල වාර්තා පෙන්වන පරිදි ම ශ්‍රී ලංකාවේ සක්‍රිය අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 8කට ආසන්න ය. එබැවින් එහි අන්තර්ගත වන තොරතුරක් ඉතා ක්ෂණිකව සහ වේගවත්ව ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකි ය.

මේ නිසා එමඟින් සංසරණය වන තොරතුරු නිරවද්‍ය සහ පිළිගත හැකි මූලාශ්‍රයකින් යුක්ත වීම අනිවාර්ය කරුණකි. වැරදි තොරතුරු සමාජගත වීමෙන් සිදු වන හානිය අවම කර ගත හැක්කේ එවිට ය. “තොරතුරක් සමාජගත කිරීමෙන් වන හානිය ඒ තොරතුර සමාජගත නොකිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සමාජගත නොකළ යුතු බව” ජන සන්නිවේදන ක්‍රියාවලියේ පිළිගත් ප්‍රායෝගික මූලධර්මයකි.

අප ජීවත් වනුයේ විවිධාකාර දිශාවලින් තොරතුරු සමාජගත වන තොරතුරුමය ලෝකයක ය. එහිදී ජාතික සීමා අතික්‍රමණය කරමින් අන්තර්ජාතික තලයේ තොරතුරු අප වෙත සන්නිවේදනය වේ. හොඳ සහ නරක සියල්ල අප වෙත සන්නිවේදනය වනුයේ ඒ ආකාරයට ය. නියාමනය අවශ්‍ය වන්නේ එවිට ය. එය වාරණය නො වේ.

ලෝකයේ දියුණු ධනවාදී සංවර්ධිත රටවල ද මේ සම්බන්ධයෙන් වූ විවිධ ක්‍රමවේද භාවිත වෙමින් පවතී. ඒ ජන සමාජවල ජනතාව ඊට අනුගත වෙමින්ද සිටිති.

එනිසා තොරතුරුකරණ ක්‍රියාවලිය විධිමත් නියාමනයකට යටත් විය යුතු ය යන්න අවිවාදිත කාරණයකි. එය නිෂේධනාත්මක කාරණයක් යැයි වරදවා වටහා ගත යුතු නැත.

වඩාත් සාධනීය අර්ථයෙන් නියාමනයකට සහ තෝරා බේරාගත් ක්‍රියාවලියකට ලක් වූ තොරතුරු සමාජගත වීම අත්‍යවශ්‍ය බව ඉහත සහ තවත් උදාහරණ රැසකින් තහවුරු වන කාරණයකි. එවිට පුරවැසියකු තමාගේ පුද්ගල නිදහස භාවිත කිරීම තවත් අයකුගේ මානවීය අයිතියක් උල්ලංඝනය නොකරන්නක් වනු ඇත. සාපරාධි පුද්ගල අපහාසය හෝ වැරදි මත සමාජගත කිරීම වැළැක්විය හැක්කේ එවන් ස්වයං විනයක් සහිත මාධ්‍ය භාවිතයක් ඇසුරෙනි.

සමස්ත පොදු සමාජයට ම පිළිගත හැකි පොදු පිළිගැනීමකට ලක් වූ සුරක්ෂිත මාධ්‍ය අවකාශයක් මෙන් ම සුරක්ෂිත සමාජ මාධ්‍ය අවකාශයක් ද විවර කර ගත හැකි වනුයේ එවිට ය.

එවැන්නක් සාධාරණය ඉටු කරන්නේ තනි තනි පුද්ගලයන්ට නො ව, සමස්ත ජන සමාජයට ම බව පැහැදිලි ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT