ජාත්‍යන්තර බොක්සිං වළල්ලේ වයස්ගතම හෙවිවේට් ශූරයා ලෙස ඉතිහාසයට එක්වී සිටි අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆෝමන් පසුගියදා මෙලොවින් සමුගත්තේය. මියයනවිට 76 හැවිරිදි වියෙහි පසුවූ ජෝර්ජ් ෆෝමන් ලෝක බොක්සිං වළල්ලේ හෙවිවේට් කිරුළු දෙකකට හිමිකම් කියන අතර, වයස්ගතම හෙවිවේට් ශුරයා බවට පත්වූයේ 1994 දී මයිකල් මුවරර් පරාජය කරමිනි.
ඒ වනවිට ෆෝමන් 45 හැවිරිදි වියෙහි පසුවූ අතර, මුවර්ර් අවුරුදු 26ක තරුණ ක්‍රීඩකයකු විය. වසර 1967දී බොක්සිං වළල්ලට පිවිසි මේ විශිෂ්ට ක්‍රීඩකයා 1973දී එවකට අසමසම හෙවිවේට් ශූරයා ලෙස ප්‍රකටව සිටි ජෝ ෆ්‍රෙසියර් පරාජය කරමින් සිය පළමු හෙවිවේට් ශූරතාව දිනාගත් අතර, ඊළඟ වසරේදී මොහොමඩ් අලි හමුවේ පරාජයට පත්වීමෙන් කිරුළ අහිමි විය.
1974 වසරේදී එවකට සයරේ රාජ්‍යය ලෙස පැවති කොංගෝ ජනරජයේ කිංෂාසා නුවර පැවති එම තරගය The Rumble in the Jungle නමින් හඳුන්වනු ලැබූ අතර, එය විසිවැනි සියවසේ විශිෂ්ටතම බොක්සිං තරගය ලෙස ඉතිහාසයට එක්විය. එම තරගයේ අටවැනි වටයේදී ඔහු මොහොමඩ් අලිගේ ප්‍රහාරය හමුවේ බිම ඇදවැටුණේය.
1977දී ජිමි යංග් හමුවේ පරාජයට පත්වීමෙන් පසු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ෆෝමන් දෙවැනි හෙවිවේටි කිරුළට හිමිකම් කීවේ යළි පිටියට පිවිසීමෙන් පසුවය. ඒ අනුව අවුරුදු 21ක පරතරයක් ඇතුළත හෙවිවේට් කිරුළු දෙකක් දිනාගත් එකම ක්‍රීඩකයා බවට ද ඔහු පත්විය.
1968 මෙක්සිකෝ ඔලිම්පික් රන් පදක්කම්ලාභියකු ද වන අඩි 6කුත්, අඟල් 3ක් උසැති මේ ක්‍රීඩකයාගේ ශක්තිමත් මුෂ්ටි ප්‍රහාර හමුවේ බිම ඇදවැටුණු ක්‍රීඩකයන්ගේ ගණන නිමක් නැත.
ලෝක බොක්සිං වළල්ලේ රජු ලෙස ප්‍රකට මොහොමඩ් අලිට පමණක් දෙවැනි වූ ෆෝමන් සිය බොක්සිං දිවිය තුළ තරග 81කට ක්‍රීඩා කළ අතර, පරාජයට පත්වූයේ තරග 5කින් පමණි. ඔහු ජයගත් තරග 76කින් 68දීම ප්‍රතිවාදියා Knockout කිරීමට ඔහු සමත්විය.
ෆවුස් මොහොමඩ්