අකිල ධනංජයගේ පන්දු යැවීමේ දස්කම් යට කළ ප්‍රතිවාදී පන්දු යවන්නෝ සිවුදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය යටතේ පැවති තරගයෙන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 145ක ජයක් ගාල්ලට අත්කර දුන්හ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවූ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගාලු පිල පළමු ඉනිමට ලකුණු 267ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු ක්‍රීඩකයෝ ලකුණු 261ක් රැස් කළහ. ලකුණු 6ක් ඉදිරියෙන් පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ ලකුණු 244කට දැවී ගියේ දඹුල්ල ලකුණු 251ක ඉලක්කයක් දෙමිනි. කෙසේ වෙතත් එම ඉලක්කය හමුවේ දඹුලු පිලට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 105ක් පමණි.
දඹුලු දෙවැනි ඉනිමේ විනාශකාරයා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 26කට කඩුලු 6ක් බිඳ දැමූ අතර, අනගි සහායක් දුන් දිලුම් සුදීර කඩුලු 4ක් දවා ගත්තේය. දඹුලු පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අකිල ධනංජය ගාලු පළමු ඉනිමේදී කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් බිඳ දැම්ම ද ගාලු ජය නවතාලිය නොහැකි විය. ඔහු මේ තරගයේදී ලකුණු 163කට කඩුලු 12ක් බිඳ දැම්මේ මෙවර තරගාවලියේ මෙතෙක් තරගයක හොඳම පන්දු යැවීම සටහන් කරමිනි. මේ තරගයේදී ගාලු පිලේ ඕෂද ප්‍රනාන්දු සහ දඹුලු නායක ධනංජය ද සිල්වා ශතක රැස් කළහ.
මේ අතර මහනුවර සහ කොළඹ කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. මේ තරගයේ මහනුවර පළමු ඉනිමේදී කමිල් මිෂාර පිට පිට දෙවැනි ශතකය ලෙස ලකුණු 172ක් රැස් කළ අතර, එය මෙවර තරගාවලියේ ඉනිමක හොඳම ලකුණු සංඛ්‍යාව විය. මහනුවර දෙවැනි ඉනිමේදී නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 100ක් රැස් කළේය.
ගාල්ල – දඹුල්ල
ගාල්ල පළමු ඉනිම – 267 (ඕවර 74) ඕෂද ප්‍රනාන්දු 100, දිනේෂ් චන්දිමාල් 73 (අකිල ධනංජය 83/7, අසිත ප්‍රනාන්දු 37/2) දෙවැනි ඉනිම – 244 (ඕවර 64.4) රමේෂ් මෙන්ඩිස් 56 (අකිල ධනංජය 80/5, ලසිත් ඇඹුල්දෙණිය 78/3)
දඹුල්ල පළමු ඉනිම – 261 (ඕවර 74.2) ධනංජය ද සිල්වා 106, ලසිත් ඇඹුල්දෙණිය 54 (මිලාන් රත්නායක 38/4, ඩිල්ෂාන් මදුශංක 64/3, දිලුම් සුදීර 49/2) සහ දෙවැනි ඉනිම – 105 (ඕවර 28) (දුනිත් වෙල්ලාලගේ 26/6, දිලුම් සුදීර 48/4)
මහනුවර – කොළඹ
මහනුවර පළමු ඉනිම – 460 (ඕවර 111.2) නුවනිඳු ප්‍රනාන්දු 172, සහන් ආරච්චිගේ 68, රවිඳු ප්‍රනාන්දු 53 (කසුන් රාජිත 80/3, නිශාන් පීරිස් 101/3, දුෂාන් හේමන්ත 91/2) සහ දෙවැනි ඉනිම – 244/3 (ඕවර 56.4) ඉනිම අත්හිටුවන ලදි. නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 100, ජනිෂ්ක පෙරේරා 93
කොළඹ පළමු ඉනිම – 106 (ඕවර 43) (ශිරාන් ප්‍රනාන්දු 49/4, සහන් නානායක්කාර 18/3, චමිඳු වික්‍රමසිංහ 8/2) සහ දෙවැනි ඉනිම – 313/7 (ඕවර 120) අවිශ්ක ප්‍රනාන්දු 74, චරිත් අසලංක 65 (සහන් නානායක්කාර 76/3, ශිරාන් ප්‍රනාන්දු 59/2)
නිරෝෂාන් ප්‍රියංකර