වසර 130ක ඉතිහාසයකට හිමිකම් කියන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පළමුවරට කාන්තාවක් සභාපති ධුරයට පත්විය. සිම්බාබ්වේ රාජ්‍යයේ ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු පිහිනුම් ක්‍රීඩිකාවක වන 41 හැවිරිදි කර්ස්ටි කොවෙන්ට්‍රි පසුගියදා ග්‍රීසියේ කොස්ටා නවරිනෝ හි පැවති 144 වැනි ඔලිම්පික් සැසියේ නව සභාපති ධුරයට සඳහා වන පළමු වටයේ ඡන්ද විමසීමේදී පිරිමි තරගකරුවන් 6 දෙනකු අබිබවා නව සභාපති ලෙස පත්වූයේ ඡන්ද 97කින් 49ක් අත්කර ගනිමිනි. එම ඡන්ද විමසුම පැවැත්වූයේ රහසිගත ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසුමක් ලෙසිනි.
ලෝක ක්‍රීඩාවේ හදවත ලෙස හඳුන්වනු ලබන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10 වැනි සභාපති ලෙස පත්වීමත් සමඟ ඇය එම ධුරයට පත්වූ ළාබාලතම පුද්ගලයා ලෙසත් ඉතිහාසයට එක්වූවාය. සිම්බාබ්වේ ක්‍රීඩා ඇමැතිනිය ද වන කර්ස්ටි සිය රට වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් 7ක් දිනාගැනීමට සමත්වූ අතර, වසර 2004 සහ 2008 ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී මීටර් 200 පසුපස ආර තරග ඉසව්වෙන් රන් පදක්කම් දෙකකට ද හිමිකම් කීවාය.
ඇගේ පත්වීම ලෝක ක්‍රීඩාවේ නව යුගයක ආරම්භයක් බවත්, කාන්තාවක් ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්වීමෙන් ජාත්‍යන්තරයට ශක්තිමත් සංඥාවක් ලබා දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
වසර 2013 සිට මේ දක්වා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජර්මානු ජාතික තෝමස් බැච් වෙනුවට ලබන ජූනි මස 24 වැනිදා ඇය නිල වශයෙන් එම තනතුර බාරගැනීමට නියමිතය.
වසර 2004 ඇතැන්ස් ඔලිම්පික් උලෙළේ දී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් කර්ස්ටි 2008 බීජිං ඔලිම්පික් උලෙළේදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් 3කට හිමිකම් කීමට සමත්වූවාය. ඇගේ මේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සිම්බාබ්වේ ඔලිම්පික් කමිටුවේ සභාපති පෝල් චින්ගොකා, ඇය ජාතික වස්තුවක් ලෙස හැඳින්වූ අතර, එවකට සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ ඇය හැඳින්වුයේ ‘රන් කෙල්ල‘ නමිනි.
2012 වසරේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩක කොමිසමට ඇතුළත් වූ කර්ස්ටි 2023 වසරේ සිට එහි විධායක කමිටු සාමාජිකාවක ලෙස කටයුතු කළාය.
ෆවුස් මොහොමඩ්