ඉන්දීය රුපියල් කෝටි 20ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 69ක්) ශූරයන්ට පිරිනැමෙන 18 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලිය කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී ආරම්භ විය. බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්, ගායිකා ශ්‍රෙයා ගෝෂාල්, සුරූපි නිළි ඩීෂා පටානි ඇතුළු ගායක ගායිකාවන්, නළුනිළියන්ගේ නැටුම් ගැයුම්වලින් මෙවර අයිපීඑල් සමාරම්භක උළෙල වර්ණවත් වූ අතර, එහි ප්‍රධාන නිවේදකයා ලෙස ෂාරුක් ඛාන් කටයුතු කිරීම කැපී පෙනිණි. එහිදී සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ රිංකු සිං සමාරම්භක උලෙළේදී ෂාරුක් ඛාන් සමඟ නර්තනයේ යෙදීම දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ සිදුවීමක් විය. මල් වෙඩි, ඩ්‍රෝන සංදර්ශන ඇතුළු අංග රැසකින් සමන්විත සමාරම්භක උත්සවයෙන් පසුව පැවති පළමු තරගයෙන් කල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් පිල සමත් විය.
කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් කල්කටා පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 174ක් රැස් කළ අතර, නියමිත ඉලක්කය ඕවර 16කුත්, පන්දු 2කදී සපුරා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්වූයේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි. රෝයල් චැලෙන්ජර්ස් පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගිය ආරම්භක පිතිකරු විරාට් කෝලි ලකුණු 59ක් රැස් කිරීමට සමත්වූයේ පන්දු 36කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. කෝලි සමඟ ඉනිම ආරම්භ කළ පිල් සෝල් ද පන්දු 31කින් ලකුණු 56ක් රැස් කිරීමට සමත්විය. දෙදෙනා අතර ඕවර 8.3ක් ඇතුළත පළමු කඩුල්ලට ලකුණු 95ක සම්බන්ධතාවක් ගොඩනැඟීම කැපී පෙනිණි. මැදපෙළ වර්ණවත් කළ නායක රජාට් පටිඩර් ලකුණු 34ක් රැස් කළේය. කල්කටා පිලේ ඉනිමේදී නායක අජින්ක්‍යා රහානේ ලකුණු 56ක් රැස් කළ අතර, සුනිල් නරේන් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් විය.
පිටියට කඩා වැදුණු රසිකයෙක් කෝලිගේ දෙපා ස්පර්ශ කරයි
විරාට් කෝලිගේ ඉනිම අතරතුර පිටියේ ආරක්ෂක වළල්ල බිඳ දමමින් පිටියට කඩා වැදුණු නරඹන්නෙක් සිය වීරයා වූ කෝලිගේ දෙපා ස්පර්ශ කළ අතර, ආරක්ෂක නිලධාරීන් ඔහු පිටියෙන් ඉවත් කිරීමට පෙර කෝලි සිය රසිකයා සිප වැලඳ ගැනීම විශේෂ සිදුවීමක් විය.
ෆවුස් මොහොමඩ්