ගම්පොළ නගරයේ මාළු වෙළෙඳසල් කුකුළු හා හරකුන් මරන ස්ථානවල අපද්‍රව්‍ය හොර රහසේ රැගෙන ගොස් ජලය ගලා යන ඇළ මාර්ගවලට දැමීමෙන් ඒවා පරිහරණය කරන ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
ගම්පොළ නගරය තුළ කසළ ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම සමඟ මෙම වෙළෙඳ සල් හිමියෝ එම අපද්‍රව්‍ය තැන තැන දැමීමට පුරුදුව සිටිති. මීට සති කිහිපයකට පෙර විශාල මාළු අපද්‍රව්‍ය ප්‍රමාණයක් ලොරියකින් රැගෙන ගොස් ගම්පොළ, අම්බුලුවාව ජලමූලාශ්‍රවලට දැමීමේදී ප්‍රදේශවාසීන් ඔවුන් අල්ලා ගත්තද මෙම ක්‍රියාව තවමත් මොවුන් නවතා නොමැත. ගම්පොළ – කහවත්ත මාර්ගයේ ගම්පොළ වත්ත, කොබ්බෑවල ඇළ මාර්ගයට මේ ලෙස මාළු හා කුකුළු අපද්‍රව්‍ය දැමීම දැන් ආරම්භ වී ඇත.
මේ සමඟ එම ඇළ මාර්ගය ආශ්‍රිතව බීමට ජලය ගන්නා පිරිස් හා දිය නෑම ඇතුළු ජලය පරිහරණය කරන පිරිස් විශාල පීඩාවකට පත්ව සිටින බව මොවුහු පවසති.
‘ඉස්සෝ‘ අපද්‍රව්‍ය ඇතුළු මාළු අපද්‍රව්‍ය නිසා ප්‍රදේශ ගණනාවකට එම දුර්ගන්ධය පැතිර ඇති බව මොවුහු සඳහන් කරති. විවිධ පිරිස් විසින් ලොරි රථ හා ත්‍රිරෝද රථවලින් පැමිණ මෙම ඔය දෙසට කසළ විසි කරන අයුරු සී.සී.ටී.වී. කැමරා දර්ශනවල ද සටහන්ව තිබේ. මෙසේ පරිසර හානි සිදුකරන පිරිස් හට නීතිය ක්‍රියාත්මක කර දැඩි දඬුවම් දීමෙන් හෝ මෙය වළක්වා දෙන ලෙස ඇළ ජලය පරිහරණය කරන ජනතාව ඉල්ලා සිටිති.
ගම්පොළ – සුරංග දිල්හාන්