Home » චාරිකාවේ ගිය පෙර පාසල් දරුවාගේ මවගේ – ATM කාඩ්පතින් දෙවතාවක් මුදල්ගත් කොන්දොස්තර මාට්ටු

චාරිකාවේ ගිය පෙර පාසල් දරුවාගේ මවගේ – ATM කාඩ්පතින් දෙවතාවක් මුදල්ගත් කොන්දොස්තර මාට්ටු

by sachintha
March 24, 2025 4:54 pm 0 comment

පෙර පාසලේ දරුවන්ගේ චාරිකාවේ දී දරුවකුගේ මවගේ ගමන් බෑගයේ තිබූ බැංකු කාඩ්පත සොරකම් කර, බැංකුවෙන් ගෙන තිබූ මුදල්වලින් රුපියල් 106000ක මුදලක් සමඟ බස් කොස්දොස්තරවරයා අත්අඩංගුවට ගත් බවට ඌරුබොක්ක පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙරලපනාතර, කැකුන්දෙණිය, ඇවැරියවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි බස් රථ කොස්දොස්තරවරයකු බවට පොලීසිය පැවසීය. ඉකුත් 21 වැනිදා බෙංගමුව පෙර පාසලේ දරුවන්, ගුරුවරුන් සහ මවුපියන් ඇතුළු 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මාතර, පොල්හේන හා පරෙයි දූපත නැරඹීම සඳහා සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් බස් රථයකින් ගොස් ඇත. පෙර පාසල් දරුවන් සමඟ චාරිකාවට ගිය පිරිස පොල්හේන මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර මවුපියන්ගේ හා ගුරුවරුන්ගේ ගමන් මලු බස් රථයේ තබා ඒ බව බස් රථයේ කොස්දොස්තරවරයාට හා රියැදුරුට දන්වා පිරිස පිටව ගොස් ඇත. පසුව චාරිකාව අවසන් කර එදින සවස පිරිස නැවැත නිවෙස්වලට පැමිණ ඇති බවට පොලීසිය පැවැසීය.

මේ අතරතුරු පෙරේදා (22) චාරිකාවට ගිය පෙර පාසල් දරුවෙකුගේ මවක වන පාසල් ගුරුවරියක් ජංගම දුරකතනය පෙරදින රාත්‍රි ක්‍රියා විරහිත කර තබා නින්දට ගොස් ඇති අතර උදේ සිය ජංගම දුරකතනය නැවත ක්‍රියාත්මක කළ විට සිය බැංකු ගිණුමේ මුදල් පෙර දින රාත්‍රී 10.08ට රුපියල් 17,000ක මුදලක් ද රාත්‍රී 10.12ට 100,000 මුදලක් ද වශයෙන් අවස්ථා දෙකකදී ඌරුබොක්ක කොමර්ෂල් බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් ලබාගත් බවට කෙටි පණිවිඩයක් ලැබී ඇත. පසුව සිය ගමන් මල්ල සෝදිසි කර බැලීමේදී මහජන බැංකු ඒ.ටී.එම්. කාඩ්පත සහ බෑගයේ තිබූ රුපියල් 7000ක මුදල ද නැති බව දැනගෙන ඇත. පසුව අදාළ ගුරුවරිය ඌරුබොක්ක පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව චාරිකාව ගිය බස් රථයේ රියැදුරු සහ කොස්දොස්තරවරයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේදී බස් රථයේ කොස්දොස්තරවරයා සොරකම සිදු කර ඇති බවට අනාවරණය කර ගෙන ඇත.

කොන්දොස්තරවරයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ බැංකු කාඩ්පත බිම වැටී තිබී අහුලාගත් බවත් කාඩ්පත බහා තිබූ කවරයේ රහස්‍ය අංකය තිබූ බැවින් මුදල් ලබා ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර බස් කොන්දොස්තරවරයා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවට ඌරුබොක්ක පොලීසිය පවසයි.

ඌරුබොක්ක විශේෂ ඒ.පී.දයාචන්ද්‍ර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT