ගාල්ල නගර සභාව යටතේ, ඩික්සන් හන්දියේ ඇති නාගරික පදික වෙළෙඳ සංකීර්ණය කුණු කසළවලින් පිරුණු රාත්‍රී කාලයේ බරපතළ අපචාරවලින් යුතු හා කුඩ්ඩන්ගේ තිප්පළක් බවට පත් වී ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
මෙම වෙළෙඳ සංකිර්ණයේ වර්ග අඩි 8 පමණ කඩ බක්කි 80 ගණනක් වෙන්කර ඇති අතර, එය වෙළෙඳාමට කිසිසේත් නොහැකි නිසා මේ වනවිට එවැනි කඩ බක්කි රැසක් එක්කර ගනිමින් ව්‍යපාරිකයින් සිවු දෙනකු දහවල් කාලයේ මල් පැළ හා වේවැල් භාණ්ඩ විකුණුම් කරගෙන යමින් සිටිති.
මෙම ස්ථානය මේ වනවිට ඒ අසළ අයගේ කසල මධ්‍යස්ථානයක් බවට පත් වී ගාල්ල මහ නගරය මැද වූ තවත් කසළ කන්දක් ඇති වෙමින් පවතින අතර නගර සභාවට කොතෙක් කීවත් එයට පිළියම් යෙදීමක් නැතැයි එහි වෙළෙන්දෝ පවසති.
මේ අතර මෙම කඩ කාමර අතර කිසියම් පුද්ගලයකු අනවසරයෙන් ලෑලිවලින් කාමරයක් ගසා ඇති අතර එය රාත්‍රි කාලයේ සල්ලාල අපචාර හා දුරාචාරවල කේන්ද්‍රස්ථානයක් වී ඇතැයි ද අවට ජනතාව පවසති.
මෙම ස්ථානය පිළිබඳව ජනතාව නඟන චෝදනා සම්බන්ධයෙන් අප එහි වෙළෙඳාමේ නියුතු අයගෙන් කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ ඔය නඟන චෝදනා ඇත්තක් බවයි.
අපිට මෙතන කිසි ආරක්ෂාවක් නෑ. වහලා යන්න ආවරණයක් නෑ. හරියට වතුර, විදුලිය නෑ. දවල් කාලයේ වෙෙළඳාම් කර හවස ගෙදර ගිහින් එනකොට මල් පැළ හා අර වේවැල් භාණ්ඩ සැලේත් බඩු හොරකම් කරලා.
අපි මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමා මුණ ගැසී කරුණු කීවා. එතුමා ඉතා හොඳ පිළියම් නගර සභාවට යෝජනාකර ඒවා සකස් කර දෙන්න කීවා. මෙහි වෙන දුරාචාර වළක්වා ගැනීමට ක්‍රියා කරන්න කීවා. කසළගොඩවල් වහාම අයින් කරන්න කීවා.
අනවසර ලෑලි කාමරය වහාම කඩන්න කීවා. නමුත් ඒ කිසිවක් කළේ නෑ. ලෑලි කාමරය ගලවන්න කියා දැන්වීමක් ගහල දැන් මාසයක් වෙලා. නමුත් ඒක දැන්වීමට පමණක් සීමා වෙලා. ඒ කඩකාමරයත්, නගර සභාවත් අතර නෑකමක් තියෙනවා කියලයි සමහරු කියන්නේ.
මෙම ස්ථානය නගරයේ ඇති වටිනාම තැනක්, මෙය ඉතා හොඳ වෙළෙඳ සංකීර්ණයක් බවට පත්කරන්න. එවිට අපිට වඩාත් විධිමත්ව නගර අලංකාරයට ගැළපෙන සේ කටයුතු කරන්න පුළුවන්, එවිට අපි එයට ගැළපෙන ලෙස ගෙවීම් කරන්නත් සූදානම්, යැයිද ඒ පිරිස් පවසති.
මෙම සංකීර්ණය ඉතා වටිනා වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන්නට හැකි ගාල්ල නගරය මැද ඇති ඉතා වටිනා වාණිජ මධ්‍යස්ථානයකී. ඒ බව නගර සභාවට නාගරික සංවර්ධන අධිකාරියට රජයේ වගකිව යුත්තන්ට නොපෙනීම, නොදැනීම ජාතියේ අවාසනාවක් බවයි අපට පෙනී යන්නේ.
තවදුරටත් මෙම ස්ථානය දුරාචාරයේ සහ කුඩුකාරයින්ගේ තෝතැන්නක් බවට පැවතීමට ඉඩ සලසන්නේ නම් නුදුරේ දි ගාල්ල නගරයේ බරපතළ ඛේදවාචකයක් මෙහි විය හැකි බව අපි පෙන්වා දෙන්නට කැමැත්තෙමු.
ගාල්ල දිසා සමූහ