සංචාරක ව්‍යාපාරය තුළ පෙන්වන්නේ අපේ පැරණි සංස්කෘතික උරුමයන් බවත් සංස්කෘතික උරුමයන් නැති වුණොත් අපේ ජාතිය විනාශ වී යන බවත් අස්පර්ශනීය කලා උරුම හා සම්ප්‍රදායික කලා අනු මණ්ඩලයේ සාමාජික, කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා බළපිටියේදී ප්‍රකාශ කළේය.
අපේ අස්පර්ශනීය උරුමයන් රැසක් තුළින් ජාත්‍යන්තරය පිළිගෙන තිබෙන්නේ රූකඩ හා දුම්බර රටා පමණක් බවත් බලිතොවිල්, ගල් කැටයම් ආදි ක්ෂේත්‍රයන් රැසක් යුනෙස්කෝ ලැයිස්තුවට ඇතුළත් කරගත යුතුව තිබෙන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මාර්තු 21 වැනිදාට යෙදී තිබුණ ජාත්‍යන්තර රූකඩ දිනය නිමිත්තේන් බළපිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති රාජ්‍ය උත්සවයේදී මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ අස්පර්ශනීය කලා උරුම හා සම්ප්‍රදායික කලා අනුමණ්ඩලය, බළපිටිය ප්‍රාදේශීය සභාව සහ බළපිටිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රූකඩ කලා ශිල්පීන් වන නලින් ගම්වාරි, ගාමිණී ගම්වාරි, නිමල් ගම්වාරි, විජේසිරි ද සිල්වා යන මහත්වරුන්ගේ කණ්ඩායම් ඇතුළු රූකඩ කණ්ඩායම් 10 ක් ඉදිරිපත් කරන ලද රූකඩ සංදර්ශනද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා මෙසේද පවසා සිටියේය.
“අද දරුවන් විශාල පිරිසක් දන්නේ කාටූන් පිළිබඳවයි. ඔවුන් රූකඩ ගැන දන්නේ නැහැ. රූකඩ මුල් යුගයේ ‘මපට්’ කියල හැඳින්වූවා. මෙහි ආරම්භය එන්නේ කැළෑවල ජීවත් වූ මිනිසුන් සතුන් දඩයම් කරන්න, සතුන් බය කරන්න විවිධ ආකාරයේ මුහුණු යොදා ගැනීමත් සමඟයි. ඒවා විකාශනය වෙලා රූකඩ නිර්මාණ බිහි වුණා. දැන් ලෝකයේ රූකඩ වෙනුවෙන් දිනයක් නම් කරල තිබෙනවා. 2018 දී යුනෙස්කෝ සංවිධානය මාර්තු 21 වෙනිදා ජාත්‍යන්තර රූකඩ දිනය ලෙස නම් කළා. අපේ රටේ අස්පර්ශනීය උරුමයන් රැසක් තිබෙනවා. නමුත් ජාත්‍යන්තරය පිළිගෙන තිබෙන්නේ රූකඩ හා දුම්බර රටා පමණයි. බලිතොවිල්, ශාන්ති කර්ම, ගල් කැටයම් ආදිය අපේ උරුමයන් අප සතුයි. එදිරිවීර සරත්චන්ද්‍රයන් ප්‍රකාශ කරන්නේ රූකඩවලට වඩා කෝලම්, නාඩගම් පැරණි බවයි. කෝලම් අත්හල කලාකරුවන් රූකඩවලට යොමු වූ බව ඒ මහතා ප්‍රකාශ කරනවා. රූකඩ ගොඩනැඟෙන්නේ අපේ රටේ ගැමි සම්ප්‍රදායක් තුළයි.”
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයන්ත රත්නායක මහතාද මෙහිදී අදහස් දැක්වීය.
බළපිටිය විශේෂ – ජයකාන්ත ලියනගේ,
අහුන්ගල්ල සමූහ – අනුර යසමිත්, ගාල්ල දිස්ත්‍රික් සංචාරක – ධර්මදාස සිරිවර්ධන, වැලිගම සමූහ – ටී.කේ. මහින්ද