Home » හංවැල්ල දුරගමන්සේවා නැවතුමේ පහදුකම් නෑ

හංවැල්ල දුරගමන්සේවා නැවතුමේ පහදුකම් නෑ

-මගීන්ගෙන් මැසිවිලි

by sachintha
March 24, 2025 4:40 pm 0 comment

කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ හංවැල්ල නගරයේ දුර ගමන් සේවා බස් නැවතුමේ, මීට වසර 8කට පමණ ඉහතදී, කිසිදු පහසුකමක් නොමැතිව ඉදිකර ඇති තාවකාලික බස් නැවතුම මේ වන විට තමන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට මගීහු මැසිවිලි නගති.

දුර ගමන් සේවා බස් රථ මෙන්ම, සාමාන්‍ය සේවා බස් රථ ද නවත්වනු ලබන මෙම බස් නැවතුමට ගමන් පහසුව සඳහා පාසල් දරුවන් මෙන්ම විශාල මගී ජනතාවක් පැමිණෙති. මෙවැනි තත්ත්වයක් මත මෙම මගී ආවරණය තුළ සකස් කර ඇති අසුනේ, ඉතාමත් අපහසුතාවෙන් පස්දෙනකුට පමණ අසුන් ගැනීමට අවස්ථාව සැලසුනත්, අනෙකුත් මගී ජනතාවට අව්වෙන්, වැස්සෙන් බේරීමට ඒ අසල ඇති වෙළෙඳසල් හිමියන්ගේ රැවුම් ගෙරවුම් මැද කඩ පිල්වල පිහිට පැතීමට සිදුවී ඇතැයි මගීහු දැඩි කළකිරීමකින් යුතුව පවසා සිටිති. එමෙන්ම හංවැල්ල නගරයේ දවස පුරා පවතින රථවාහන තදබදය අවම කර ගැනීමේ අරමුණින්, මීට වසර කීපයකට ඉහතදී මහජන මුදල් සම්භාරයක් වැය කර ඉදිකරන ලද විකල්ප මාර්ගය, මේ වන විට හංවැල්ල නගරයට පැමිණෙන පෞද්ගලික බස් රථ නවත්වන රථ ගාලක් බවට පත්වී ඇති බව පවසන ජනතාව, හංවැල්ල නගරයේ බෝධියටත්, සීතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයටත් මැදිව, සීතාවක ප්‍රාදේශීය සභාව සතු ගොඩනැඟිලි දෙකක් ප්‍රධාන මාර්ගයට සමීපව පිහිටීම නිසා මෙම මාර්ගය පුළුල් කර නගරයේ රථවාහන තදබදය අවම කර ගැනීමට එය විශාල බාධාවක් බව ජනතාව පවසති. එලෙස මාර්ගයේ සංවර්ධනය කර දුර ගමන් සේවා බස් රථ මගී ආවරණ එම මාර්ගයේ සවිකර ජනතාවට සේවය සැලසීමට කටයුතු කරන්නේ නම්, මහජන මුදල් ලක්ෂ ගණනාවක් වැය කර ඉදිකරන ලද මාර්ගයේ නිසි ප්‍රතිඵල ජනතාවට භුක්ති විඳීමට හැකිවනවා මෙන්ම, එය දවස පුරා හංවැල්ල නගරයේ පවතින රථවාහන තදබදයට ස්ථීර විසඳුමක් බව ද ඔවුහු පවසති.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT