ගණේමුල්ල, වැලිපිල්ලෑව ජයකොඩි වලව්වේ හිමිකරු වන, හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කමලවර්ණ ජයකොඩි මහතාගේ බිරිය වන එම වලව්වේ හිමිකාරිය බව කියන කාන්ති ස්වර්ණමාලී මීදෙණිය ජයකොඩි (74) මහත්මිය මිය යාමෙන් අනතුරුව, අවසන් කාලයේ ඇය රැක බලාගත් ඇයගේ රියැදුරු වන කේ.ඒ.ඩී. රෝහිත යන අයට ඇයගේ මෘත දේහය අවසන් කටයුතු සිදු කිරීමට ලබා දෙන මෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර තිබිණි. මියගිය කාන්තාවගේ මෘත දේහය එසේ ඇයගේ රියැදුරු වෙත භාර දීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය එසේ නියම කළේ ඇයගේ මෘත දේහය භාර ගැනීමට පවුලේ ඥතීන් විශාල පිරිසක් ඉදිරිපත් වීම හේතුවෙනි. එම හේතුව නිසා ඇය මිය යාමෙන් අනතුරුව ඇයගේ මළ සිරුර දින හයක පමණ කාලයක් රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.
මෙම කාන්තාව රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට දින හතකට පමණ පෙර ගණේමුල්ල, වැලිපිල්ලෑව ජයකොඩි වලව්වේදී මියගොස් තිබිණි. අනතුරුව රාගම ශික්ෂණ රෝහලේ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මෙම සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලද අතර ඒ අනුව මෙම කාන්තාවගේ මරණය රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුවූ ස්වභාවික මරණයක් බවට එහිදී නිගමනය කර තිබේ. අනතුරුව ඇයගේ මෘතදේහය ඇයගේ රියැදුරා භාරගෙන එය ගණේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ පිහිටි ජයකොඩි වලව්ව වෙත ගෙන ගොස් පෙරේදා (22) පොල්හේන පොදු සුසාන භූමියේදි ඇයගේ අවසන් කටයුතු සිදු කෙරිණි. එම කාන්තාව මිය යන විට ඇය සතුව රුපියල් කෝටි දෙසීයක් පමණ වත්කම් තිබී ඇති අතර එම පරපුර විසින් ගණේමුල්ල, කොමාන්ඩෝ යුද හමුදා කඳවුරට, වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයට හා ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන රැසකට තමන් සතු ඉඩ කඩම් රැසක් නොමිලේ පරිත්‍යාග කර තිබිණි.
මහර සමූහ – ගණිඳු රෝචන සමරතුංග