අපනයන ආදායම ඉලක්ක කර ගන්නා බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් අය-වැයෙන් වෙන් කර නොමැති බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) පැවසීය.
අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
“එක අතකින් මේ ආණ්ඩුව වාසනාවන්තයි. අපි ඒ කාලයේ ආණ්ඩුව ගන්නා විට විදේශ සංචිත පහළ වැටී තිබුණා. මේ ආණ්ඩුව රට භාර ගන්නා විට ආර්ථිකය ධනාත්මක පැත්තකට හැරී තිබුණා. ඒ සඳහා විශාල කණ්ඩායමක් ලොකු කැපවීමක් කළා. සාමාන්‍ය ජනතාවට මේ අය-වැයෙන් ආමන්ත්‍රණය කර තිබෙනවා ද කියන ගැටලුව එනවා. 2028 සිට අපි ණය ගෙවන්න ඕනෑ. ගෙවීම්වල ලොකු බරක් අපට මේ වසරේ තිබෙනවා. ඩොලර් මිලියන 900ක විදේශ සංචිතවලින් මේ වසරේ ඉන්දියාවට ගෙවන්න වෙනවා. තවත් ඩොලර් මිලියන 200ක් මේ වසරේදී ගෙවන්න වෙනවා. හිඟ පොලී ලෙස ඩොලර් මිලියන 800ක් ගෙවන්න වෙනවා. දැන් ණය ගෙවන්න පටන්ගෙනවත් නැහැ. බහුපාර්ශ්වීය ණයත් තිබෙනවා. ඔපෙක් එකට ඩොලර් බිලියන 1.1ක් ගෙවන්න තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් ණය පොලී ගෙවන්න ඕනෑ. ඩොලර් මිලියන 300ක් මේ වසරේ ගෙවන්න ඕනෑ. මේ වසරේ ඩොලර් බිලියන 3.3ක් නැවත ගෙවන්න වෙලා තිබෙනවා. “