මෙවර අය-වැය තුළින් ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බැවින් පොදුජන පෙරමුණ මෙවර අය-වැයට විරුද්ධ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
“අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටින අයට බඩු මල්ලක් දීම හොඳයි. නමුත් මෙම බඩු මල්ලට ත්‍රිපෝෂ ආයතනයෙන් අවශ්‍ය සුපෝෂ පැකට් මිල දී ගන්නේ නැතිව පෞද්ගලික ආයතනයකින් සමපෝෂ ලබා ගන්නවා. සුපෝෂ ගන්නේ නැතිව සමපෝෂ මිල දී ගන්නේ කාට ලාභ කරන්න ද? මේකෙන් ආණ්ඩුවට වෙන්නේ මූල්‍ය පාඩුවක් නෙවෙයිද? අරගලය වෙලාවේ මුලින්ම ඇවිත් උදවු කරපු අයට තමයි වත්මන් ආණ්ඩුව අද පහර දෙන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල මොන තරම් උදවු කළාද? හෙද හෙදියෝ මොන තරම් උදවු කළා ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි මෙවර ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙනවා.
උපාධිධාරීන් 35,000කට පළමු අය-වැයෙන්ම රැකියා දෙනවා කිවුවා මේ ආණ්ඩුව. නමුත් තවම දුන්නේ නෑ. සියලු දෙනාට වාහනයක් මිල දී ගන්න වටපිටාව හදනවා කිවුවා. නමුත් ත්‍රිරෝද රථයක්වත් බයිසිකලයක්වත් ගන්න පුළුවන් වටපිටාවක් නැහැ. ජනතාවට පොරොන්දු වූ කිසිවක් මේ අය-වැයෙන් දී නැහැ.”