බලශක්ති ඩිජිටල්කරණය කිරීමේ පරිවර්තනීය ව්‍යාපෘතියට ආරම්භක පියවර තබමින් මහජන සේවාවන් නවීකරණය කිරීම අරමුණු කර ගත් ඩිජිටල් පාලනයක් සහ ඊ-සේවා ඔස්සේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ මහජන ප්‍රවේශය සහිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමට රජය මේ වනවිට සැලසුම් නිර්මාණය කරමින් සිටින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“බලශක්ති තාක්ෂණය සහ ස්මාර්ට් විසඳුම් සංවර්ධනය කිරීමේදී පෞද්ගලික අංශයේ කාර්යභාර්ය අත්‍යවශ්‍යයි. මෙරට ඩිජිටල් සහ බලශක්ති පරිවර්තනයේ ප්‍රමුඛතමයා බවට පත්වන අනාගතයක් ගොඩනැඟීමට ව්‍යාපාර සහ ව්‍යවසායකයන්ට මේ නව වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ආරාධනා කරනවා.
සියලු දෙනා ඇතුළත් වන සහ සමෘද්ධිමත් ආකෘතියක් නිර්මාණය කිරීමට ඩිජිටල්කරණය සහ පුනර්ජනනීය බලශක්ති නවෝත්පාදන උපයෝගී කර ගනිමින් ගෝලීය මට්ටමින් අපේ රට ඔසවා තැබීම මේ ව්‍යාපෘතියේ අරමුණයි. රටේ ඩිජිටල් අනාගතය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ මේ පරිවර්තනය හුදෙක් සුවපහසුවට පමණක් නොව ශ්‍රී ලාංකිකයන් ජීවත් වන, වැඩ කරන සහ තාක්ෂණය සමඟ සම්බන්ධ වන ආකාරයේ මූලික වෙනස්කම් සිදු කරන වැඩපිළිවෙළක් බවයි. ඒ අනුව රජයේ ඩිජිටල්කරණ දැක්ම මූලික උපායමාර්ග කුලුනු තුනක් මත ගොඩනඟා තිබෙනවා. ඒ අනුව ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI), ඩිජිටල් සාක්ෂරතාව, ඩිජිටල් පාලනය සහ විද්‍යුත් සේවා යන ප්‍රධාන සාධක තුන ඔස්සේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය මූලික වශයෙන් සිදු වෙනවා. ඒ සඳහා රජයක් වශයෙන් පළමුවෙන්ම සිදු කළ යුත්තේ ඩිජිටල් ආර්ථික කොඳු නාරටිය ගොඩනැඟීමයි.
ඩිජිටල් යටිතල පහසුකම්වලට අමතරව නාගරික සහ ග්‍රාමීය ප්‍රජාවන් අතර ඩිජිටල් සාක්ෂරතාවෙහි පවතින හිඬැස පියවීමට රජය විසින් ඩිජිටල් සාක්ෂරතාව සහ සියලු දෙනා ආවරණය වන පද්ධතියක් නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වය දී තිබෙනවා. ඒ ඔස්සේ ඩිජිටල් ආර්ථිකයට සහයෝගී වන කුසලතා සහිත පුරවැසියන් නිර්මාණය කිරීම සඳහා නව පුහුණු වැඩසටහන් සහ ප්‍රතිපත්ති හඳුන්වා දීමට මේ වන විටත් වර්තමාන රජය කටයුතු අරඹා තිබෙනවා.”
මලිඳු තෙන්නකෝන්