ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය සඳහා විමුක්තිකා කාරියවසම් මහත්මිය පත් කර ඇත.
එම ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තාවක් පත්වූ මුල්ම අවස්ථාව මෙය වේ. මෙයට පෙර රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රවෘත්ති) ලෙස ආංජනී සෙනෙවිරත්න මහත්මිය කටයුතු කර තිබිණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන විමුක්තිකා කාරියවසම් මහත්මිය පුහුණු නිෂ්පාදක තනතුර සඳහා 1997 වර්ෂයේ දී ජාතික රූපවාහිනිය හා සම්බන්ධව තිබේ.
ජාතික රූපවාහිනියේ විවිධ වැඩසටහන්වල නිෂ්පාදන කර්තව්‍යයට ද දායක වන ඇය පසුව වැඩබලන නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සිංහල ප්‍රවෘත්ති මෙන්ම ප්‍රාදේශීය ප්‍රවෘත්ති සහකාර අධ්‍යක්ෂ ධුරවල ද කටයුතු කර ඇත.
විමුක්තිකා කාරියවසම් ගල්කිස්ස බෞද්ධ බාලිකා විදුහලේ ආදි සිසුවියක් වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විශේෂවේදී උපාධිධාරිනියකි. රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනෙහි ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලත් ඇය එහි ශිෂ්‍ය නායිකාවක් ලෙසත්, විවාද කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විශේෂවේදී උපාධියට සමගාමීව මහාචාර්ය ජේ.බී. දිසානායක ඇදුරුතුමන්ගේ මඟපෙන්වීම යටතේ ජනමාධ්‍ය විෂය ධාරාව ද හදාරනු ලැබූ විමුක්තිකා කාරියවසම් ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනය, ජනමාධ්‍ය විද්‍යාලය, ජාතික පුවත්පත් ආයතනවල ද ප්‍රායෝගික පුහුණුව ලබමින් ප්‍රවෘත්ති වාර්තාකාරිනියක ලෙස කටයුතු කළාය.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලේඛකත්වය සහ ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාද් උපාධියක් ද ලබාගත් ඇය මැලේසියාව හෙල්ප් විශ්වවිද්‍යාලයෙන් ප්‍රවෘත්ති කලාව, වාර්තාකරණය, ප්‍රවෘත්ති අංශ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබාගත්තාය. ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක් ලෙස ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ සේවයට එක්වූ ඇය ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ලෙස සේවය කරමින් 28 වසරක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.
මෙරට වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ රතු තරුව ලෙස හැඳින් වූ කම්කරු නායකයකු වූ ජේමිස් කාරියවසම් මහතාගේ දියණියක වන විමුක්තිකා රූපවාහිනි මාධ්‍යවේදි හර්ෂ කරුණාරත්නගේ ප්‍රිය බිරියයි.
එසේම ඇය ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවක නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් ‘වොයිස්‘ නමින් නවතම ග්‍රන්ථයක් සම්පාදනය කර තිබේ.