කුරුණෑගල මහ නගර සභාවේ පාලනය මාලිමාවට ලැබුණු පසුව මෙතෙක් කල් මහ නගර සභාව තුළ සිදුවූ දූෂණ අක්‍රමිකතා සියල්ලටම සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාමයෝජනා භාරදීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ කරුණු ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මේ බවද සඳහන් කළේය.
කුරුණෑගල මහ නගර සභාව තුළ පසුගිය කාලයේදී සිදු වෙලා තියෙන වංචා දූෂණ අක්‍රමිකතා සියල්ලම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒවා මාධ්‍ය මගිනුත් අනාවරණය කරලා තියෙනවා. මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්න මේ රටේ අධිකරණ පද්ධතියක් තිබෙනවා. විගණන දෙපාර්තමේන්තුවක් තියෙනවා. අල්ලස් කොමිසමක් තියෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවත් සමඟ සීඅයිඩිය තියෙනවා. ඒ ආයතන තියෙද්දී අපි ඊට උඩින් ගිහිල්ලා වැඩ කරන්නෙත් නැහැ. වැඩ කරලත් නැහැ. මේ ස්ථානයට එහායින් තියෙන පිට්ටනිය (මාලිගා පිටිය) හදන්න දුන්නේ අඩුම ලංසුව තියෙද්දී වැඩිම ලංසුවටයි. අඩු ලංසුවට ඉල්ලපු කෙනාට ඒක දුන්නේ නැහැ. අඩුම ලංසුවට නොදී වැඩිම ලංසුවට දුන්නේ කොමිස් ගන්න බලාගෙනයි. ඒ විතරක් නොවෙයි හිටපු නගරාධිපතිගේ මිත්‍රයින්ට සහචරයන්ට නගර සභාවේ කඩ කාමර දීලා තියෙනවා. ඒවාටත් අවශ්‍ය සාක්ෂි අපි ළඟ තියෙනවා. ඒ වගේම නාගරික වෙෙළඳ සංකීර්ණය හදද්දී වෙළඳාම් කරගෙන හිටිය වෙළෙන්දෝ අසාධාරණ විදිහට එළවලා දැම්මා. ඒවා ඇතුළේ විශාල වංචාවන් සිද්ධ වෙලා තියෙනවා. කුරුණෑගල නගරයේ තියෙන නගර සභාවට අයත් ඉඩම් සම්බන්ධයෙනුත් විශාල අක්‍රමිකතාවන් සිද්ධ වෙලා තියෙනවා. ඒ විස්තරත් අපි ළඟ තිෙයනවා. රාජසභා මණ්ඩපය කැඩුවා. ඒකට වන්දි ගෙවුවා තමයි. නමුත් තාම ඒවාත් ඉවර නැහැ. නගර සභාවේ හදන ගොඩනැඟිලි අතරමඟ නතර වෙනවා.
ඒ වගේම පාක් එකටත් නඩු. බලාන ගියාම හැමතැනම නඩු පිට නඩු. අපි දැනටමත් මේ සියලුම දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරලා මූලික කටයුතු කරගෙන යනවා. කුරුණෑගල මහ නගර සභාවේ බලය මාලිමාවට ලැබුණාට පස්සේ අපි මේ සියලුම කටයුතු පැහැදිලිවම ඉදිරියටම ගෙන යනවා. මේ නිසා අපි පැහැදිලිවම කියනවා මේ වැරැදිවලට සම්බන්ධ කිසිවෙකුටත් ගැලවිල්ලක් නැහැ කියලා. වැරැදි කරපු සියලුම දෙනාට එරෙහිව අපි නීත්‍යනුකූලව කටයුතු කරනවා.“
කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න