ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව ලබා දෙන සහාය එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ (Samuel Paparo) මහතා ඇගයීමට ලක් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරිවරයා අතර හමුවේදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය. එම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (21) පැවැත්විණි.
අද්මිරාල් පපාරෝ මහතා මෙහිදී ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය ගෙනයන වැඩපිළිවෙළ අගයමින් සුබපැතුම් පිරිනැමීය.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑමටත්, ශ්‍රී ලංකා රජයේ නව වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමටත් සිය සහාය ලබා දෙන බවද අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල මානව සම්පත් සංවර්ධනයට එක්සත් ජනපදය අතීතයේ සිට මේ දක්වා ලබා දෙන සහාය මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් සිය ස්තූතිය පළකර සිටියේය.
විදේශ කටයුතු ඇමැති විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) ලුතිනන් කර්නල් ඇන්තනී නෙල්සන්, එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් විධානයේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති උපදේශක ඩේවිඩ් රැන්ස් (David Ranz) මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න