රජයේ පුරප්පාඩු 30,000ක් පුරවනවා
රැකියා විරහිත උපාධිධාරීන් ගැන විශේෂ අවධානයක්
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
තමන් ජනාධිපති වුවත් මන්ත්‍රි විශ්‍රාම වැටුප ද හිමි වන බවත් එය තමන් දැන නොසිටි බවත් කී ජනාධිපතිවරයා, එය දැනගත් වහාම මන්ත්‍රි විශ්‍රාම වැටුප නතර කරන ලෙස පාර්ලිමේන්තුවට ලිපියක් මඟින් දැනුම් දුන් බවත් කීවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ අය-වැය අවසන් වර කියැවීමේ විවාදයට පසුගියදා (21) එක්වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.
“මන්ත්‍රීවරයා ජනාධිපති වීමෙන් පසු ඔහුට මන්ත්‍රීවරයාට හිමි විශ්‍රාම වැටුප ලැබෙනවා. ජනාධිපති වැටුපත් ලැබෙනවා. එදා සිදු වුණේ තමන් කැමැති විදිහට ලොකු හැඳිවලින් බෙදා ගැනීමයි. ඒ වගේම මන්ත්‍රීවරයා ඇමැති වෙනකොට ඇමැති වැටුපත්, මන්ත්‍රී වැටුපත් දෙකම හිමි වෙනවා. නමුත් අපි තීරණය කර තිබෙනවා අපේ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබා ගන්නේ මන්ත්‍රී වැටුප පමණයි කියලා.
මේ රට වෙනස් කිරීමට නම් දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත අපි ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවා.
එසේම ජනාධිපතිවරයාගේ වරප්‍රසාද පනත සංශෝධනය කර එම පනතත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවා. පාර්ලිමේන්තුවේ සියලු දෙනාට එකට එක්වී අත එසවිය හැකි පනත් කිහිපයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එනු ලබනවා.
ඒ වගේම මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා නොදෙන අතර තම ධුර කාලය තුළ මන්ත්‍රීවරයකුට වාහනයක් ලැබිය යුතුයි යන ප්‍රතිපත්තියේ අප සිටිනවා.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ කාරණයේදී අපි කරුණු 2ක් පිළිබඳ අවධානය යොමු කරනු ලැබුවා. අපේ රටේ වෘත්තීයමය හැකියාවක් ඇති රාජ්‍ය නිලධාරීන් රට අතහැර යෑමේ ප්‍රවණතාවක් පැවතුණා. ඒ වගේම යම් වෘත්තීයමය හැකියාවක් සහ ධාරිතාවක් තිබෙන අයෙක් රාජ්‍ය සේවයට ආකර්ෂණය කරගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා.
ඒ අනුව අසීරුතා මධ්‍යයේ වුවද රාජ්‍ය සේවකයන්ට දැනෙන වැටුප් වැඩි වීමක් සිදු කළ යුතු බව අපි තීරණය කළා.
එය අපේක්ෂා නොකළ මූලික වැටුප් වැඩිවීමක් බව කිවයුතුයි. විද්‍යාත්මක ක්‍රමයකට අනුව අපි එම මූලික වැටුප් වැඩි කිරීම සිදු කිරීමට තීරණය කළා. ඒ වගේම අනෙකුත් දීමනා වැඩි කිරීමට ද කටයුතු කළා.
කිසිදා සංවාදයට ලක් නොවූ වැටුප් වර්ධකවල දැනෙන වැඩිවීමක් සිදු කිරීමට අපි කටයුතු කළා. එහෙත් මූලධර්ම සහ අභිමානය ආරක්ෂා කරමින් ඉදිරියේදී එහි සංශෝධනය සිදු කිරීමට අවශ්‍ය බව යෝජනා කරන්නේ නම් ඒ සඳහාත් අපි කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුයි. මේ සියල්ල තුළින් අපි අපේක්ෂා කරන්නේ රට තුළ ඉතා හොඳ රාජ්‍ය සේවයක් ඇති කිරීමයි.
එසේම අප ඇමැතිවරුන් සංඛ්‍යාව 21 දක්වා අඩු කර තිබෙන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊට සරිලන ලෙස පත්කර තිබෙනවා.
අමාත්‍යවරුන්ට නිවාස ලබා දෙන්නේ නැහැ. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍ය වන අතර මන්ත්‍රීවරු සහ දේශපාලන අධිකාරිය මේ රට ගොඩනැඟීම සඳහා යම් කැපකිරීමක් සිදුකරමින් ආදර්ශය සපයන විට රාජ්‍ය සේවකයන් ද ඒ සඳහා සූදානම් විය යුතුයි. එසේ නොමැතිව අභිමානය වැනි සරල කරුණුවල පැටලී ප්‍රශ්න නොකළ යුතු බව මම ප්‍රකාශ කරන්න කැමැතියි.
රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ අපි විශේෂ අවධානය යොමුකර තිබෙන අතර එම රැකියා ලබාදීම නිසි ප්‍රතිපත්තියකට අනුව සිදු කරනවා. දැනට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,300ක් හඳුනාගෙන තිබෙන අතර එම පුරප්පාඩු පිරවීමට අදාළ කමිටුව අපට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව රජයේ පුරප්පාඩු 30,000ක් ඉදිරියේදී පිරවීමට කටයුතු කරන අතර ඒ ඒ තනතුරුවලට බඳවා ගැනීම් නිසි පටිපාටිය අනුව සිදු කරනවා.
එසේ නොමැතිව රාජ්‍ය සේවයට අනවශ්‍ය ලෙස විශාල පිරිස් බඳවා ගැනීම් නොකළ යුතුයි. ඒ සඳහා උඩගෙඩි නොදෙන ලෙස ද පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.
අපි රාජ්‍ය සේවය පිළිගන්නා රාජ්‍යයක්. එහෙත් අපේ රටේ රාජ්‍ය සේවය සඳහා දරන වැයබර ඉතා ඉහළයි. ඒ නිසා අපි ඒ සඳහා සැලසුම්සහගතව කටයුතු කරනවා. අපේ ආණ්ඩුව පත්වුණේ පැවති ක්‍රමවේදය ඒ අයුරින්ම ඉදිරියට ගෙන යාමට නම් එය ඉතා පහසු කාර්යයක්.
එහෙත් මේ රටේ ජනතාව අපව බලයට පත්කර ගත්තේ පවතින ක්‍රමවේදය රටටත් ජනතාවටත් සුබවාදී ලෙස පරිවර්තනයකට ලක් කිරීමටයි.
අපට ලැබුණේ බංකොලොත් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු රාජ්‍යයක්. නිල වශයෙන් පමණක් නොව යථාර්ථයේදීත් බංකොලොත් රාජ්‍යයක්. ඒ වගේම රටේ ආදායම් සහ වියදම් අතර විශාල පරතරයක් තිබුණා.
මුළු ආදායම ලෙස බිලියන 4999ක් අපේක්ෂා කරන විට පොලිය ගෙවීම සඳහා පමණක් බිලියන 2950ක් අවශ්‍ය වුණා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා බිලියන 1352ක් ද , විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 442ක් ද අවශ්‍යයි.
මුළු ආදායම බිලියන 4990ක් වනවිට පොලිය ගෙවීම, රාජ්‍ය වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බිලියන 4744ක් වැය වෙනවා. ඉතිරි වන්නේ බිලියන 246යි. මෙම ආර්ථික තත්ත්වය කඩිමුඩියේ හැරවිය නොහැකියි.
එපමණක් නොව, විශාල ණයබරකින් පෙළෙන, වාර්ෂිකව විශාල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන සමූහයක් මේ රටේ තිබෙනවා.
ජාතික රූපවාහිනී සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 256යි, ණය මිලියන 1834යි. ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය වසරේ පාඩුව මිලියන 152ක් වනවිට මිලියන 1603ක් ණය තිබෙනවා. ස්වාධීන රූපවාහිනි ආයතනයේ මිලියන 1476ක ණය තිබෙනවා.
ලංකා සීනි සංස්ථාව මිලියන 11,165ක් ණයයි. රාජ්‍ය වැවිලි සංස්ථාව මිලියන 3216ක් ද, මිල්කෝ ආයතනය මිලියන 15,090ක් ද, එයාර් ලංකා ආයතනය බිලියන 340කට ආසන්න ප්‍රමාණයකින්ද ණය තිබෙනවා.
ස්වර්ණා විජේකොන්, සන්ධ්‍යා කරුණාරත්න