Home » වෛද්‍ය ඉල්ලීම්වලට විසඳුම් ජනපතිට -ඇමැතිට GMOA පැසසුම්

වෛද්‍ය ඉල්ලීම්වලට විසඳුම් ජනපතිට -ඇමැතිට GMOA පැසසුම්

by sachintha
March 24, 2025 4:28 pm 0 comment

අය-වැය තුන්වැනි වර කියවීමේ විවාදයේදී සංශෝධනයක් මඟින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කෘතඥතාව පළ කර තිබේ.

සංගමයේ මූලික ඉල්ලීම සමඟ සමාන වන විසඳුමක් මඟින් රජයට කිසිදු අමතර මූල්‍ය බරක් පැටවෙන්නේ නොමැති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසීය.

වෛද්‍යවරුන් තම අමතර රාජකාරි සහ නිවාඩු ගෙවීම්වලින් තුනෙන් එකක් රටේ යහපත සඳහා දායක කිරීමට එකඟව ඇති බවත් පළමුව අය-වැය යෝජනාවල කොටසක් ලෙස වෛද්‍යවරුන්ගේ මූලික වැටුප් වැඩි කළ අතර අතිරේක රාජකාරි සහ නිවාඩු වැඩ සඳහා ගෙවීම් ගාස්තු පැයකට 1/120 සහ දිනකට 1/30 දක්වා අඩු කළ බවත් ඒ මහතා කීය.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් සිය නොසතුට පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වඩාත් හිතකර විසඳුමක් සඳහා බලධාරීන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීය. මෙම සාකච්ඡාවලින් පසුව රටේ ආර්ථික අභියෝග සලකා බලා එම මුදලින් තුනෙන් දෙකක් පමණක් ගෙවමින්, අමතර රාජකාරි සඳහා පැයකට මූලික වැටුපෙන් 1/80ක් සහ නිවාඩු වැඩ සඳහා දිනකට 1/20ක් ලෙස කලින් ගණනය කළ පරිදිම පවත්වාගෙන යෑමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කර ඇතැයි ඒ මහතා පැවසුවේය.

නම්‍යශීලී, සාකච්ඡා පදනම් කර ගත් ප්‍රවේශයක් මඟින් ගැටලුව විසඳා ඇති අතර එය වෛද්‍ය වෘත්තිකයන් ලද ධනාත්මක ප්‍රතිඵලයක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT