ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් 2012 වසරේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට රුපියල් ලක්ෂ පහක් වැනි අඩු මිල ගණන් යටතේ පවරාගෙන ඇතැයි කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පැවසීය. එලෙස අඩු මිලට ගෙන ඇති එම ඉඩම් 2023 වසරේදී දෙහිවල එස්.ද.එස්. ජයසිංහ මාවතේ පදිංචි අයකුට රුපියල් ලක්ෂ 120ක් වැනි ඉහළ මිලකට අලෙවි කර ඇති බවත් හෙතෙම කීවේය.
පෞද්ගලික පැහැදිලි කිරීම් යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා (21) මේ බව හෙළි කළේය.
අමාත්‍යවරයා එම ඉඩම්වල පත්ඉරු මෙහි දී සභාගත කිරීමට ද පියවර ගනිමින් පැවසුවේ 2012 වසරේදී රුපියල් ලක්ෂ 05ට ගත් ඉඩම් වසර 11 කට පසුව ලක්ෂ 120ට විකුණා ඇති බවයි. ඇතැම් ඉඩම් පිළිබඳ ඔප්පු ලියා තිබෙන්නේ අරලියගහ මන්දිරයට ගෙන්වාගෙන බව ද හෙතෙම පැවසීය.
එම ඉඩම් කිසිවක් පන්සලකට අයත් වන බවක් පත්ඉරුවල සඳහන් නොවන අතර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර ඇතැයි ද කීය.
එමෙන්ම ජාතික ජන බලවේගයේ කිසිවකුට පන්සල්වලට අයත් ඉඩම්වලට අතතැබීමේ අවශ්‍යතාවක් නොමැති බව ද කීවේය.
“පසුගිය දිනවල මාධ්‍ය තුළත් යම් කරුණක් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුවුණා. ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමකට ඇතුළුවීමක් සම්බන්ධයෙන් තමයි මෙම කතාබහ ඇතිවුණේ. මම පන්සලකට බලහත්කාරයෙන් ඇතුළු වෙන්න ගියා කියලා තමයි ඒ පුවත පළවුණේ. අදාළ ඉඩම්වලට අයත්වන පත්ඉරු මා සතුව තිබෙනවා. ඒ පත්ඉරු කිසිවක මේ පන්සලක නමක් සඳහන් වන්නේ නැහැ.
මෙම ඉඩමේ ඇත්ත කතාව මේකයි. මේ මෙම ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාවට බරපතළ ගැටලුවක් තිබුණා. කිසිදු ලෙසකින් පන්සල්වලට අතපෙවීමේ කිසිදු වුවමනාවක් නැහැ. මෙම ඉඩම් කිසිදු පන්සලක හිමිකාරීත්වයක් නැහැ” යැයිද හෙතෙම කීවේය.
2012-ජූලි මාසේ 12 වැනිදා ඉඩම් ගණනාවක් අත්පත් කරගෙන තිබෙනවා, එක ඉඩමක් අත්පත්කරගෙන තිබෙන්නේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට අදාළ සමාගමට. ලක්ෂ පහක මුදලකටයි. පසුව ඒක ලක්ෂ දහයකට විකුණලා තිබෙනවා. මම ඒක ගැන වෙනම කියන්නම්. ඒ වගේම ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි තවත් ඉඩමක් තිබෙනවා. මෙම අත්පත් කරගෙන තිබෙන්නේ තංගල්ල පාර, නොම්බර 19, කාල්ටන් හවුස්හී පදිංචි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ නමට ලක්ෂ පහකටයි. ඊළඟට තව ඉඩමක් තිබෙනවා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ නමට. මේ විදිහට මේ ඉඩම් සියල්ලම අත්පත් කරගෙන තිබෙනවා. මීට අදාළ පත්ඉරු සියල්ලම මම සභාගත කරනවා” යැයිද වැඩිදුරටත් කීවේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න