එළැඹෙන 2025 පළාත් පාලන මැතිවරණයට අදාළව විධිමත් හා තාක්ෂණික ක්‍රමයක් ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසම මඟින් නව ජංගම යෙදවුමක් හඳුන්වා දෙයි.
ඒ අනුව EC EDR ජංගම යෙදවුම ඔස්සේ මහජනතාවට මැතිවරණය සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් වෙතොත් මැතිවරණ කොමිසම වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.
මෙම නව යෙදවුම හඳුන්වාදීමේ උත්සවය මැතිවරණ කොමිසමේදී පෙරේදා (22) පැවැත්විණි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයේදී ඒ මහතා කියා සිටියේ “මහජනතාවට පැමිණිල්ලක් තිබේ නම්, ඔවුන්ට දැන් මෙම යෙදුම හරහා එය ඉදිරිපත් කළ හැකි බවයි. පැමිණිල්ල කළ පුද්ගලයාට මෙන්ම තමන්ගේ පැමිණිල්ලට සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීමට ද මේ නව යෙදවුම මඟින් ජනතාවට අවකාශය හිමි වන බව ද කීවේය.
මෙම යෙදවුම හරහා වීඩියෝ සහ රූප ලබාදීමේ හැකියාවද පවතින අතර පැමිණිල්ල යොමු කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට ද පැමිණිලිකරුට අවස්ථාව ලැබේ.
ඒ සම්බන්ධයෙන් පසු ප්‍රතිචාර දැක්වීම සිදු කෙරේ.
මැතිවරණ කොමිසම මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකයක් පිහිටුවා ඊට සියලු දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සහ අනිකුත් ආයතනවල නියෝජිතයන් සම්බන්ධ වන බව ද හෙතෙම පැවසීය. සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි ඒකක පිහිටුවීමට පියවර ගන්නා බව ද සභාපතිවරයා කීවේය.
මේ අවස්ථාවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොමිසමේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
සුභාෂිණී සේනානායක