කුරුණෑගල, වාරියපොළ ප්‍රදේශයේදී අනතුරට පත් ගුවන් යානය පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා එම ගුවන් යානයේ සුන්බුන් කොටස් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙනවිත් තිබේ.
එම ගුවන් යානය පුහුණුවීමක් අතරතුර කුරුණෑගල, වාරියපොළ ප්‍රදේශයේ පොල් ඉඩමකට කඩා වැටුණු අතර මේ වන විට එහි ස්ථානීය පරීක්ෂණය අවසන් කර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා ÒදිනමිණÓ ට පැවැසීය.
කෙසේ වුවද අදාළ යානය අනතුරට හේතුව විමර්ශනයට මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බව ද එම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශකවරයා පළපුරුදු ගුවන් නියමුවකු බව ද ඒ මහතා පවසයි.
අනතුරට පත් මෙම ගුවන් යානය පිළිබඳ විමර්ශනයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් විශේෂ පරීක්ෂණ කමිටුවක් ද පත්කර තිබෙන අතර එම පරීක්ෂණ කමිටුවට සාමාජිකයන් 07 දෙනකු අයත් වෙති.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බළගණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුව සඳහා යොදාගනු ලබන K-8 වර්ගයේ ගුවන් යානයක් පසුගිය (21) දා පුහුණුවක් අතරතුර කුරුණෑගල, වාරියපොල ප්‍රදේශයේදී හදිසි අනතුරට ලක්වූ අතර එම ගුවන් යානයේ ගුවන් නියමු නිලධාරීන් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්ව කුරුණෑගල, පාදෙණිය, මිනුවන්ගැටේ විද්‍යාල පරිශ්‍රයට පැරිෂුට් ආධාරයෙන් ගොඩබැස තිබිණි.
මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිලධාරිවරයා ගමන් කර ඇති අතර එම නිලධාරීන් ප්‍රතිකාර සඳහා ප්‍රදේශවාසීන් විසින් කුරුණෑගල, ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. මෙම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරෙන් පෙරවරු 07.27ට පමණ ගුවන් ගත වී ඇති අතර පෙරවරු 07.55ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
මහින්ද අලුත්ගෙදර