දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසරය හිමිවී ඇත.
තමන්ට බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර වෙනුවට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර දෙන්නැයි දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාර අධිකාරිය හරහා ඉල්ලීමක් කර තිබු අතර ඒ අනුව පසුගිය සෙනසුරාදා (22) සිට ඔහුට දිනක ආහාරවේල් තුනම පිටතින් රැගෙන ඒමට අවසර හිමිවී තිබේ.
සිරකරුවකුගේ ආහාර වේල් තුන සඳහා දිනකට රජය රුපියල් 500කට ආසන්න මුදලක් වැය කරන අතර, ඒ අනුව පසුගිය 22දා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා දින 13ක් ආහාර වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට වැය කරන මුදල ඉතිරි වනු ඇත.
මේ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පිටතින් රැගෙන එන ආහාර බන්ධනාගාරය නියමකර ඇති වේලාවට (අනෙක් රැඳවුවන්ගේ ආහාර ලබාදීමේ වේලාව) රැගෙන ආයුතු අතර ඒවා බන්ධනාගාර නිලධාරින්ගේ පරීක්ෂා කිරීම්වලින් පසුව ඒ මහතාට ලබාදීම සිදු කරනු ලබයි.
මේ අතර, ඔහුගේ සුවදුක් විමසීම සඳහා පවුලේ ඥාතීන් කිහිප දෙනකු දුම්බර බන්ධනාගාරය වෙත පසුගි දින කීපයෙහි පැමිණ ඇති අතර එම බන්ධනාගාරයේ වැඩිම ආරක්ෂාව ඇති දෙමහල් ගොඩනැඟිල්ලක පිහිටි K වාට්ටුවේ ඔහුව රඳවා ඇති බව දුම්බර බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. සාම්ප්‍රදායිකව රැඳවුවකුට සිරමැදිරිය තුළ භාවිත කිරීම සඳහා බන්ධනාගාරයෙන් ලබාදෙන පැදුරක් ද ඔහුට ලබා දී ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
බුද්ධිකා ඉඹුලාන