Wednesday, April 2, 2025
Home » දේශබන්දුට තට්ටු නිවාස සංකීර්ණවල ගෙවල් 8ක් – උපයා ගත් හැටි හොයන්න CIDයෙන් විමර්ශන

දේශබන්දුට තට්ටු නිවාස සංකීර්ණවල ගෙවල් 8ක් – උපයා ගත් හැටි හොයන්න CIDයෙන් විමර්ශන

by sachintha
March 24, 2025 4:16 pm 0 comment

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් දේපොළ රැසක් විවිධ පුද්ගලයන්ගේ නම්වලින් රටපුරා සහ විදේශයන්වල ඇති බවට ඇති තොරතුරු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විශේෂ අවධානයක් යොමුකර විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

කොළඹ නගරයේ සහ ඒ අවට ඇති සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණ කිහපයක දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියන නිවාස 08ක් ඇති බවට තොරතුරු තිබෙන අතර ඒවා සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි අනාවරණය වේ. විවිධ පුද්ගල නම්වලින් දේශබන්දු තෙන්නකෝන් මහතාට දේපොළ ඇති බව සඳහන් වුවත් ඔහුගේ නමින් පාපැදියක්වත් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය. දේශබන්දු තෙන්නකෝන් වැනි නිලධාරියකුට අඩුම තරමින් ගෙයක් දොරක්වත් නොතිබීම සැකයට තුඩු දෙන්නක් බවත් මුල සිටම ඔහු ආරක්ෂාකාරීව කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

“ගේ දොර පමණක් නොවෙයි, වතුපිටි පවා දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇති බව කියැවෙනවා. ව්‍යාපාරවලට පවා ඔහු මුදල් ආයෝජනය කර ඇති බවට තොරතුරු තිබෙනවා. ඒවායේ ඇත්ත නැත්ත විමර්ශනවලදී අනාවරණය වේවි. දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් වත්කම් ගැන තොරතුරු දන්නා කියන අය ඉන්නවනම් ඒ අයට පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට ඒ ගැන නාමිකව හෝ නිර්නාමිකව තොරතුරු දෙන්න“ යැයිද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්ය. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර පිහිටි නි‍ෙවසින් සොයාගත් විදේශීය මත්පැන් බෝතල් තොගය සහ තෑගි පෙට්ටි සම්බන්ධයෙන්ද විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT