කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ මොනරාගල පදිංචි ආර්.එම්. කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් නව නිවෙසක් ඉදිකර දී තිබේ.
එම නව නිවෙසට ගෙවිදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී සිදු කෙරිණි. දරුවන් දෙදෙනකුගේ මවක් වන කාන්තිරත්න මැණිකේ මහත්මියගේ සැමියා මියගොස් ඇති අතර, වැඩිමහල් දියණිය යුද හමුදාවේ සේවය කරන බවත්, බාල දියණිය උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ලෑලි සහ ඉටිකොළ ආවරණය කර ටකරම් සෙවිලි කළ නිවෙසක ජීවත් වූ කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සහන නිවාස සුබසාධන වැඩසටහනෙන් රුපියල් ලක්ෂ 17.5ක වියදමින් මේ නිවෙස ඉදිකරදී තිබේ. මේ නිවෙස තැනීමේ කටයුතු මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු විය.
විදේශ රැකියාවක් සඳහා යොමුවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ගැනීම අනිවාර්යය වන අතර, එසේ ලියාපදිංචිවී විදේශ රැකියාවට පිටත්ව යෑම හේතුවෙන් කාන්තිරත්න මැණිකේ මහත්මියට මේ නිෙවස හිමි විය. එසේම කාර්යාංශ ලියාපදිංචිය ගැනීමෙන් විගමණික ශ්‍රමිකයන්ට නොමිලේ රක්ෂණ ආවරණ, රැකියාවේදී අනතුරට පත්වුවහොත් වෛද්‍යාධාර හා නිවාස, ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට වෛද්‍ය සායන, ස්වයංරැකියා ආධාර සහ මාර්ගෝපදේශනය, දූ දරුවන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ආදී වූ සුබසාධනය හා සංවර්ධනය වෙනුවෙන් පහසුකම් රැසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලබා දෙයි.
මේ අවස්ථාවට කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ඌව පළාත) එස්. ගාල්ලගේ මහත්මිය සහ කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිලධාරීන් ඇතුළු විදේශ රැකියා සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීහු සහභාගි වූහ.
මහින්ද අලුත්ගෙදර