පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පසුබෑමකට ලක්වුවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තනි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම දිස්ත්‍රික්කයකටම නාමයෝජනා ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“ගියවරට වඩා තුන්ගුණයටත් වැඩියෙන් අපේක්ෂකයන්ගේ ඉල්ලීම් ආවා. ඒත් එක්ක විශාල අපහසුතාවක් ඇති වුණා හරිම පුද්ගලයා කොට්ඨාසවලට තෝරාගැනීම් පිළිබඳව. නමුත් මේ වෙද්දී අපි සියල්ල හඳුනාගෙන නාමයෝජනා පත්‍ර භාර දුන්නා. අපි විශ්වාස කරනවා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ගිය මැතිවරණයට සාපේක්ෂව වැඩිම ප්‍රතිශතයක් ගන්න පක්ෂය බවට පත්කරන්න ජනතාව බලා සිටිනවා කියලා. එදා කළ චෝදනා සියල්ල අද එකින් එක එළිවෙමින් යනවා. විශේෂයෙන්ම අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රට පුරාම රැස්වීම් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපේ ආසන සංවිධායකවරුන්ගේ වගකීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරා ගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සූදානම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කටයුතු මාලිමාව අද ආරම්භ කළත් අපි මාස කිහිපයකට පෙර, ගමින් ගමට වැඩසටහනත් එක්ක අපේ දේශපාලන කටයුත්ත ආරම්භ කළා.
හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය සභා රැස්වීම් මේ වෙනකෙට පවත්වා අවසන්. බහුතරයක් දිස්ත්‍රික්කවල මේ වෙනකොට මූලික රැස්වීම් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූවා. අපි බිම සමඟ සිටින පක්ෂයක්. අපේ අඩුපාඩු තිබුණා. අපි පස්සට ගියා. නමුත් මේ මැතිවරණය තමයි අපි නැවතත් ඉදිරියට එන මැතිවරණය බවට පත්වෙන්නේ. ඉන්න මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ විනෝදජනක බවකුත් තිබෙනවා. පාසලට යන මුල්ම දවස්වල පැමිණීම හොඳයි. ඒ වගේ අපි දැක්කා, 225න් 159ම අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටියා. හැබැයි ඊයේ තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අය-වැය. ඒ අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා කතා කරන කොට මුදල් නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාගෙන් එක්කෙනයි සිටියේ. මුළු කැබිනට් එකේම සිටියේ වසන්ත ඇමැතිවරයා විතරයි. කිසිම ඇමැතිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක් හිටියේ නෑ.
පාර්ලිමේන්තුවේ උපරිම 30ට අඩු ප්‍රමාණයක් තමයි හිටියේ. ඒ නිසා පටන්ගත් වුවමනාව දැන් නෑ. ඉස්සර නම් පෝලිම් තමයි තිබුණේ පාර්ලිමේන්තුව ඇතුළට යන්න. දැන් එය වෙනස් වෙමින් යනවා. වැඩපිළිවෙළක් පේන්න නෑ. මේ ආණ්ඩුවේ හැම ලිස්ට් එකක්ම එන්නේ පාර්ලිමේන්තුවේදී. පාර්ලිමේන්තුවෙන් පිටත ලිස්ට් එක දැක්කොත් ලිස්ට් එකේ සිටින පිරිසට අධිකරණයට ගිහිල්ලා තමන්ගේ සාධාරණය වෙනුවෙන් සටන් කරන්න පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලින් බොරු කීමේ අයිතිය නැති කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේනවා. අපි විශ්වාස කරනවා, පාර්ලිමේන්තුවේ 225 ම සහයෝගය දෙයි කියලා. එසේ නැතිනම් එක පැත්තකින් පාර්ලිමේන්තුවේ බොරු කියනවා, අනෙක් පැත්තෙන් කෝප් කමිටුව ඇතුළු අනෙක් කමිටු ඒ වරප්‍රසාදවලට යටවෙලා තමන්ට අවශ්‍ය දේවල් කියනවා. ඒ නිසා මාලිමාවෙන් ඉල්ලා සිටිනවා, සෑම ලිස්ට් එකක්ම එළියේදී ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. පාර්ලිමේන්තුව පච මඩුවක් කරන්න එපා කියලා මිනිස්සු ඡන්දය දුන්නේ.”
මහින්ද අලුත්ගෙදර