Home » ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය 108 වැනි උපන්දිනය සමරයි

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය 108 වැනි උපන්දිනය සමරයි

by sachintha
March 24, 2025 4:02 pm 0 comment

මෙරට තරුණියන්ගේ ජීවිතවලට අභිමානයක් එක්කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සිය 108 වැනි උපන්දිනය අභිමානවත් ලෙස සමරයි.

1917 මාර්තු මස 21 වැනි දින ආරම්භ වූ මේ සංගමය තරුණියන්ට නායකත්වය, ස්වයං-විනය සහ සමාජ සේවය වැනි අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට අගනා අවස්ථාවක් සලසා දී ඇත.

මේ සංගමය ගැහැනු දරුවන්ගේ පෞද්ගලික වර්ධනයට මෙන්ම සමාජයට වටිනා පුරවැසියන් ලෙස දායකවීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වේ. විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් හරහා බාලදක්ෂිකාවන්ගේ නායකත්වය, කණ්ඩායම් වැඩ, ගැටලු විසඳීම සහ සමාජ සේවය වැනි වැදගත් කුසලතා ප්‍රගුණ කරයි. එමෙන්ම විශේෂ දක්ෂතා සහිත ගැහැනු දරුවන්ට සරිලන වැඩසටහන් ද, සමාජයේ විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින තරුණියන්ට ප්‍රජා බාලදක්ෂිකා අංශයක් ද පවත්වාගෙන යන බාලදක්ෂිකා සංගමය රටවල් 153ක සාමාජිකත්වය දරන ලෝක බාල දක්ෂිකා සහ මානවක බාල දක්ෂිකා සංගමයේ (WAGGGS-World Association of Girl Guides and Girls Scouts)සාමාජිකයෙකි.

108 වැනි තම උපන්දිනය නිමිත්තෙන් ඔසු උයනක් විවෘත කිරීම ඇතුළුව දිවයින පුරා විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධානය කර ඇති අතර, පසුගිය 21 වැනි දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගම් මූලස්ථානයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මේ වැඩසටහනට සමගාමීව ලියෝ සමාජය සමඟ එක්ව මූලස්ථාන පරිශ්‍රයේ ඔසු උයනක් ආරම්භ කිරීම ද සිදු කෙරිණි. මේ ඔසු උයන සකස් කිරීමට 61 වැනි ශ්‍රී ජයවර්ධනපුර බාලදක්ෂිකාවන්ගේ දායකත්වය ලැබුණු අතර, එහි නඩත්තු කටයුතු මූලස්ථාන බාලදක්ෂිකා කණ්ඩායම් විසින් සිදු කරනු ලබයි. මේ ඔසු උයන බාලදක්ෂිකාවන්ට දේශීය ඖෂධ පැළෑටි පිළිබඳ දැනුම ලබා ගැනීමට සහ පරිසර සංරක්ෂණයට දායක වීමට අවස්ථාවක් සලසා දෙනු ඇත.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ආචාර්ය කුශාන්තා හේරත් මහත්මිය මේ සංවත්සරය පිළිබඳව අදහස් දක්වමින් මෙලෙස පැවසුවාය.

“අපගේ සංගමය වසර 108ක් පුරා තරුණියන් සවිබලගැන්වීමට සහ ඔවුන්ගේ ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට දැක්වූ දායකත්වය ගැන නිහතමානී ලෙස ආඩම්බර වෙනවා. විශේෂයෙන්ම මේ ඔසු උයන බාලදක්ෂිකාවන්ට පරිසරය සමඟ සමීපව කටයුතු කිරීමට සහ දේශීය දැනුම ප්‍රවර්ධනය කිරීමට හොඳ අවස්ථාවක්. 61 වැනි ශ්‍රී ජයවර්ධනපුර බාලදක්ෂිකාවන්ගේ දායකත්වය සහ මූලස්ථාන බාලදක්ෂිකා කණ්ඩායම්වල නඩත්තු කටයුතු පිළිබඳව අපගේ ස්තූතිය පුද කර සිටිනවා. පැළ රෝපණය කිරීම සහ රැකබලා ගැනීමෙන් ලැබෙන මානසික ප්‍රතිලාභ දැරියන්ට ඔවුන්ගේ මානසික සුවතාව වර්ධනය කර ගැනීමට උපකාරී වෙනවා. තවද දිවයින පුරා පැළ 10,000ක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද මීට සමගාමීව සිදු කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT