පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුව දරන පක්ෂය සතුවීම ඉතා වැදගත් නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඒවායේ සියලු බලතල මාලිමාවට දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඒ මහතා මේ ඉල්ලීම කළේ පසුගියදා (21) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ජය නියතයි ගම අපටයි තේමාවෙන් ඡන්ද ව්‍යාපාරය කරන ජාතික ජන බලවේගය මේ ඡන්දයේදී අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. එම ජයග්‍රහණය සමඟ එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් පක්ෂවලින් එක එක බුලට් දමනවා කීවාට ජාතික ජන බලවේගය කලබල විය යුතු නෑ. එම බුලට් කොන්ත්‍රාත් කරමින් ජනතා මුදල් ගසා කෑ අන්දම ජනතාව දන්නවා.
තැන් තැන්වල සිදු වන වෙඩි තැබීම් ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එම සිද්ධි පාතාල කල්ලි, විරුද්ධවාදීන් අතර ගැටුම් නිසා සිදු වන ඝාතන. එම තත්ත්වය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඒවා නැවැත්විය යුතුයි. පොලීසිය ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණ කරන බවට විශ්වාස කරන්නේ නෑ. දැන් පවතින්නේ දීර්ඝ කාලයක් පුරා රාජපක්ෂලාගේ, රනිල් වික්‍රමසිංහලාගේ කාලයේ නිර්මාණය වූ පොලීසියක්. එම නිසා ඒ තුළ තිබෙන සංස්කෘතිය ටිකක් වෙනස්.
පළාත් පාලන ඡන්දයේ ජයග්‍රහණය සඳහා ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ මැතිවරණය පවත්වන්නේ අවුරුදු හතකට පස්සෙ. සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතනයක ධුර කාලය අවුරුදු හතරයි. පසුගිය කාලයේ මේ පළාත් පාලන ආයතනවල කාලය අවසන් වූ අවස්ථාවේ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුව පැවැති බලතල භාවිත කරමින් ඡන්දය අවුරුද්දකට කල්දමා ගත්තා. පසුව පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවේ ජනාධිපතිවරයාව සිටියේ රනිල් වික්‍රමසිංහ. ඔවුන් ඉතාම කැත, ප්‍රජාතන්ත්‍ර විරෝධී, කුමන්ත්‍රණකාරී ලෙස මුදල් දෙන්නේ නැතිව ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇති කළා. ඔවුන් මේ පිළිබඳව පම්පෝරි ගැහුවා. මේ තත්ත්වය නිසා ඔවුන්ට මේ ඡන්දයට ඉදිරිපත්වීමට සදාචාර අයිතියක්වත් නෑ.
මේ පළාත් පාලන ඡන්දය ගමේ තියෙන පුංචි ඡන්දය කියලා සමහරු සිතාගෙන ඉන්නවා. මේ ඡන්දයේදී අප සැලකිය යුත්තේ ඥාතීත්වය හෝ මිත්‍රත්වය නොවේ. ආණ්ඩුවත් සමඟ එකට වැඩ කළ හැකි ආයතන ගොඩනැඟීම ඉතා වැදගත් වෙනවා. අපේ රට ගොඩ නඟනවා නම් බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය භාර ආයතනය පළාත් පාලන ආයතනයයි. ඒ නිසා අප සිතනවා මේ ආයතනවල බලය ආණ්ඩු සතුව තිබ්බොත් හොඳයි කියලා. එවිට ආණ්ඩුවට තම කටයුතු ජනතාව වෙනුවෙන් හොඳින් ඉටු කරන්න පුළුවන්. අප මේ වන විට මෙරට තිබූ කැත, මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. දේශපාලනඥයන්ගේ වියදම් අඩු කර ජනතාව වෙනුවෙන් වැඩි මුදලක් වෙන්කර තිබෙනවා. ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරය, ක්ලීන් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් තුළින් අප විශාල කාර්යභාරයක් කරනවා.
ඉතිහාසයේ පළාත් පාලන ආයතනවල සිටි බොහෝ දෙනා කොන්ත්‍රාත්වලින් යැපුණා. එම නිසා කොන්ත්‍රාත් ගන්න ජනතා නියෝජිතයෙක් වෙනුවට සැබෑ මහජන නියෝජිතයෙක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව අපට තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවේ කාන්තා සහ පිරිමි අලුත් නායකත්වයක් අවශ්‍යයි කියා අප සිතනවා.
මේ වන විට මාලිමාව ඉතා ප්‍රබල තත්ත්වයක සිටිනවා. ජනතාව මාලිමාවට දුන් එම බලය අප අයුතු ලෙස පාවිච්චි කරන්නෙ නෑ. මෙරට ජනතාව ජනාධිපතිවරණයේදී, මහමැතිවරණයේදී අපට දුන් ජයග්‍රහණය මෙවර පළාත් පාලන මැතිවරණයේදී ද දෙයි කියා අප සිතනවා. අප මෙවර පළාත් පාලන මැතිවරණයට රට පුරා ඉතා හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. විපක්ෂය මේ වන විට දුර්වල තත්ත්වයක පවතිනවා. ඔවුන් පසුගිය මැතිවරණවලින් පරාජය වුණා. විපක්ෂයේ ඇතැම් පිරිස් දෙකයි පනහටම පැරදුණා. ඔවුන් සමඟි වෙන්න කතා කළාට අසමඟි වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපට ජයග්‍රහණය පිළිබඳව කිසිම සැකයක් නෑ. එම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේදී සියලුම ආයතන ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබෙනවා. පුනරුදයක් කරා අප යන ගමනේදී එය වඩාත් ශක්තිමත් කිරීමට පළාත් පාලන ආයතනවල ශක්තිය ද ඉතා වැදගත් බව අප සිතනවා.
මේ රටේ ඡන්ද ඉතිහාසයේම තිබූ සාධාරණ මැතිවරණය ලෙස පසුගිය මහමැතිවරණය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අප පෙන්වා දුන්නා මැතිවරණ කියන්නෙ අනෙකාට හිරිහැර කරන එකක් නොවන බව. ඒ ආකාරයෙන් ක්‍රියා කරන්න කියා අප විපක්ෂයේ පිරිස්වලට කියනවා. මේ පුංචි ඡන්දයෙන් ඔවුන්ට අයිති තැන ජනතාව පෙන්වා දේවි. බොරු කියන එක නවත්වන්න නීති හදන්න ඕනෙ. හැබැයි ජනතාවගේ භාෂණයේ නිදහස ආරක්ෂා කර ගනිමින් තමයි සියලු දේ කරන්න ඕනෙ. අත්අඩංගුවට පත්වූ පොලිස්පති දිහා බැලුවාම අපේ රටේ පොලීසිය තිබුණේ කොහෙද කියා ජනතාවට පෙනෙනවා. ඔහුගේ නිවෙසේ තිබූ මත්පැන් දිහා බැලුවාම පොලිස්පති යනු බාර් එකක් අයිති පුද්ගලයෙක් දැයි සිතෙනවා.
බුකින් ඩොට්කොම් පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට මේ අවස්ථාවට සහභාගි වූ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා පිළිතුරක් දෙමින් මෙලෙස ප්‍රකාශ කළේය.
“අදාළ කරුණ සම්බන්ධව අමාත්‍යාංශය ලෙස කටයුතු කරමින් සිටිනවා. වෙනත් විකල්ප ආයතන හඳුන්වාදීම ආරම්භ කර තිබෙනවා. එම විකල්පත් සමඟ අදහස් ප්‍රකාශ කළා. ස්ථාවරය එසේමයි. පිරිසුදු ගමක්, පිරිසුදු නගරයක් හැදීමට පළාත් පාලන මැතිවරණය ප්‍රයෝජනයට ගත යුතුයි. එළැඹෙන පළාත් පාලන මැතිවරණ යනු මධ්‍යම ආණ්ඩුව ගම දිනවන, නගරය දිනවන ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළයි. පරාජිත විපක්ෂයේ කොටස්කරුවකු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
ජාතික ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.
උපාලි කරුණාරත්න